FAST NEWS

24×7 Around the Globe

ලෝක ළමාදිනය වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්දගෙන් නිවේදනයක්.

අදට යෙදෙන ලෝක ළමා දිනය වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නිවේදනයක් නිකුත් කර ඇත.

මෙහි දැක්වෙන්නේ එම නිවේදනයයි.

ඔක්තෝබර් පළවෙනිදාට යෙදෙන ජාත්‍යන්තර ලෝක ළමා දිනයේ දී මම සමස්ත ශ‍්‍රී ලාංකේය දු පුතුන්ට ඉමහත් සෙනෙහසින් සුබ පතමි.

මේ රටේ දු පුතුන් මුහුණ දී තිබූ මහා ව්‍යසනයකින් බේරා ගැනීමට අපට හැකිවීම ගැන මේ දිනයේ ඉමහත් සතුටින් යුතුව සිහිපත් කරමි. රුදුරු ත‍්‍රස්තවාදීන් විසින් ළමා සොල්දාදුවන් ලෙස බදවා ගෙන යුද්ධයට දරුවන් බිළිදෙන යුගය නිමා කිරීමට අපට හැකිවිය. එසේම පාසල් යන දු පුතුන් මරුවාගෙන් ගළවා ගැනීමට මව්වරුන් බියෙන් යුතුව පාසල් ගේට්ටු මුර කළ යුගය අප හමාර කළෙමු. ජාතියේ දු දරුවන් මරණ බියෙන් ගළවා ගැනීමෙන් නතර නොවී අප පරිගණක සාක්ෂරතාවය නංවා මහින්දෝදය ව්‍යාපෘතිය තුලින් පාසැල් විශාල ගණනක් ගොඩ නංවා ළමා පරපුරට නවීන ලෝකය විවෘත කර දුන්නෙමු.

අප මේ රටේ දු පුතුන්ගේ සිත්වලින් පළවා හැරිය මරණ බිය යළිත් දරු පරපුර වෙත වෙනත් ආකාරයකට උදාවී තිබීම ගැන මා මහත් ලෙස කම්පාවට පත්වී සිටිමි. සේයා සදෙව්මි දුවගේ හා සිවලෝගනාදන් විද්‍යා පාසල් සිසුවියගේ ඝාතන ඇතුළු පසුගිය දිනවල සිදුවූ දු දරු ඝාතන මා තුල ඇති කරන්නේ මහත් සංවේගයකි. මේ රටේ ජීවත් වන සෑම දරුවෙකුගේම ආරක්ෂාව පිළිබඳ වගකීමෙන් කොටසක් දෙමවුපියන් පමණක් නොව පාලකයන්ද භාරගත යුතු බව මගේ විශ්වාසයයි. ඒ සඳහා ප‍්‍රමුඛතාවය දෙන ලෙස බලධාරීන්ගෙන් අප ඉල්ලා සිටිමු.

සමස්ත ශ‍්‍රී ලාංකේය දු පුතුන්ට යහපත් අනාගතයක් උදා වේවායි ප‍්‍රාර්ථනා කරමි!

මහින්ද රාජපක්ෂ (ප.ම)
හිටපු ජනාධිපති