(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බොහෝ රාජ්‍ය ආයතන විනාශ කළා සේ රාජ්‍ය බැංකු ටිකත් විනාශ කරන්න එපා…! රන් බිජුලන කිකිළිය මරං කන්න එපා…! සාමාන්‍යාධිකාරීවරුන් ලෙස හෙංචයියන් පත්කිරීම වහා නතර කරන්න.
සමස්ත ලංකා බැංකු සේවක සංගමය ජනපති අගමැතිගෙන් ලිඛිතව ඉල්ලයි.
මෙතෙක් තිබූ ක්‍රමවේදය සහ සම්ප්රදාය සම්පූර්ණයෙන් බැහැර කරමින් රාජ්‍ය බැංකුවල සාමාන්‍යාධිකාරීවරුන් (General Managers) ලෙස දේශපාලන හෙංචයියන් පත්කිරීම වහාම නතර කරන්නැයි සමස්ත ලංකා බැංකු සේවක සංගමය ජනාධිපතිගෙන් සහ අගමැතිගෙන් ලිඛිතව ඉල්ලා ලිපියක් යවා තිබේ. එම සංගමයේ සභාපති වසන්ත සමරසිංහගේ අත්සනින් අද යවා ඇති එකී ලිපියේ මෙසේ දැක්වේ.
ප්‍රධාන රාජ්‍ය බැංකු වන ලංකා බැංකුව , මහජන බැංකුව , ජාතික ඉතිරිකිරීමේ බැංකුව සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුවලට සාමාන්‍යාධිකාරීවරුන් (General Managers) මේ වන විට අවිධිමත් ආකාරයෙන් පත්කිරීම් සිදුකරමින් තිබේ.
මීට පෙර මෙම පත්කිරීමේ ක්‍රමවේදය සහ සම්ප්රදාය වූයේ ජ්‍යෙෂ්ඨතම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා , හෝ ජ්‍යෙෂ්ඨතම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා හෝ ජ්‍යෙෂ්ඨතම නියෝජ්‍ය මහා කළමණාකාරවරයා / වරිය පත්කිරීම කරනු ලැබුවේ අධ්යක්ෂ මණ්ඩලය අනුමත කරමින් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා දැනුවත් කිරීමෙන් අනතුරුවය. මෙම ක්‍රමවේදය සහ සම්ප්රදාය සම්පූර්ණයෙන් බැහැර කරමින් වත්මන් ආණ්ඩුව විසින් සෘජු දේශපාලන පත්කිරීමක් බවට එම තනතුර පරිවර්තනය කර ඇත. ආණ්ඩුවේ සෘජු මැදිහත්වීම හරහා ඒ ඒ බැංකුවල සභාපතිවරුන් සහ අධ්යක්ෂ මණ්ඩල තෝරා පත්කරන බැවින් පවතින ආණ්ඩුව වෙනුවෙන් ගන්නා තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට ඒ ඒ බැංකුවල සාමාන්‍යාධිකාරීවරුන් සහ මහා කළමණාකාරුවන් විසින් ක්‍රියාවට නැගීම සිදුකරනු ලබයි.
ඒ අනුව මෙතෙක් රාජ්‍ය බැංකු අර්ධ වශයෙන් දේශපාලන ක්‍රියාකාරීත්වයට බලපෑමට යටත්ව ක්‍රියාත්මක විය. නමුත් ආණ්ඩුව මැදිහත් වී සෘජුවම සාමානාධිකාරීවරුන් / මහා කළමණාකරුවන් පත්කිරීම නිසා රාජ්‍ය බැංකු ටික සම්පූර්ණයෙන්ම දේශපාලනකරණයට ලක්වීම අනිවාර්ය වේ. මෙතෙක් රාජ්‍ය බැංකු විසින් අත්පත් කරගන්නා විශාල ලාභ කොටස් රාජ්‍ය භාණ්ඩාගාරය හරහා සංවර්ධන කටයුතුවලට යෙදුණි. ඉදිරියේ දී මෙම සෘජු දේශපාලන මැදිහත්වීම නිසා අනිවාර්යෙන්ම රාජ්‍ය බැංකු ද විදුලිබල මණ්ඩලය , තෙල් සංස්ථාව , ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැනි පාඩු ලබන රාජ්‍ය ආයතන ගණයට එකතුවීමත් අනිවාර්ය වේ. ඒ නිසා මෙය කරනු ලබන්නේ ” රන්බිජු ලබාදෙන “රාජ්‍ය බැංකු විනාශ කොට දමා පෞද්ගලික බැංකු ශක්තිමත් කිරීමේ ක්‍රමවේදය බව ඉතාමත් පැහැදිලිය.
එම නිසා මෙතෙක් රාජ්‍ය බැංකුවල පවත්වාගෙන ආ ප්‍රධාන විධායක නිළධාරීන් පත්කිරීමේ ක්‍රමය වෙනස් කිරීම නිසා රාජ්‍ය බැංකුවල කාර්මික සාමය බිඳවැටී පරිපාලනය දුර්වල වී සේවක ප්‍රජාව අධෛර්යමත්වීම තුළ නිර්මාණය වන තත්ත්වයන් රාජ්‍ය බැංකුවලට කිසිසේත්ම යහපත් නොවන නිසා රාජ්‍ය බැංකුවල ප්‍රධාන විධායක නිළධාරියා පත්කර ගැනීමේ මෙතෙක් ක්‍රියාත්මක වූ ක්‍රියාපටිපාටිය හා සම්ප්රදාය බිඳ නොදමන ලෙස ඉතාමත් ගෞරවයෙන් සමස්ත රාජ්‍ය බැංකු ප්‍රජාව වෙනුවෙන් ඉල්ලා සිටිමු.
ඒ අනුව ප්‍රධාන රාජ්‍ය බැංකුවල දැනට තනතුරු හොබවන ප්‍රධාන විධායක නිළධාරීන් ඉවත්කර ඒ වෙනුවට ආණ්ඩුවේ සෘජු මැදිහත්වීම මත පත්කරනු ලබන ක්‍රමවේදය නතර කරන ලෙසත් , ආණ්ඩුව විසින් ගෙනයන අත්තනෝමතික ලෙස ඉහත පත්කිරීමේ ක්‍රියාවලියට කිසියම් සංගමයක් විසින් ඒ සඳහා බලවත් විරෝධය ප්‍රකාශකර සිටින අතර , දැනට රාජ්‍ය බැංකුවල ආරම්භ වී ඇති සේවක විරෝධතාවලට පූර්ණ අනුග්‍රහය ලබාදී මෙම ක්‍රියාවලිය පරාජයට පත්කිරීමට එම සංගමය මැදිහත් වන බව දන්වා සිටිමු.
ජාතියේ පහන් ටැඹටත් කෙළවන්න යයි….! ලංකා බැංකු දක්ෂ සාමාන්‍යාධිකාරී එළවා රාජපක්ෂ හෙංචෙක් පත්කරන්න යයි….! සේවකයෝ විරෝධය පාති.
ලංකාව බිහිකළ කීර්තිමත් බැංකුකරුවෙකු වන ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන විධායක සෙනරත් බණ්ඩාර තනතුරින් ඉවත්කර රාජපක්ෂලාගේ හෙංචයියෙකු ඒ සඳහා පත්කිරීමට දරණ වෑයමට එරෙහිව අද ලංකා බැංකු සේවක සංගමය විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්වීමට තීරණය කර තිබේ. අද දහවල් ලංකා බැංකු මූලස්ථානයේ දී මෙම විරෝධය පැවැත්වීමට නියමිතය.
1990 දී ලංකා බැංකුවේ කළමණාකාරී කණ්ඩායමට එක්වූ සෙනරත් බණ්ඩාර සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන විධායක ධූරයට පත්වූයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධූරය දරමින් සිටියදී 2018 දීය. 1990 සිට 2018 දක්වා කාලය තුළ ඔහු ලංකා බැංකුවේ පුහුණු කළමණාකරුවෙකුගේ සිට විවිධ තනතුරු දරමින් සාමාන්‍යාධිකාරී තනතුර දක්වා පැමිණි අයෙකි.
ජාත්‍යන්තර ශාඛා මෙහෙයවීම , ජාත්‍යන්තර බැංකුකරණය , ආයතනික සම්බන්ධතා , සන්නිවේදන ක්‍රම , ආයෝජන , භාණ්ඩාගාර කළමණාකරණය, ආයතනික බැංකුකරණය , සංවර්ධන බැංකුකරණය , ඉස්ලාමීය බැංකුකරණය , විද්‍යුත් බැංකුකරණය , ක්‍රෙඩිට් කාඩ් මෙහෙයුම් සහ ශාඛා මෙහෙයුම් පිළිබඳ හසල දැනුමක් පළපුරුද්දක් ඇති සෙනරත් බණ්ඩාර ධූරයෙන් ඉවත්කර රාජපක්ෂලාගේ දේශපාලව හෙංචයියෙකු ඒ සඳහා පත්කිරීමට දරණ වෑයමට ලංකා බැංකුවට ආදරය කරන සේවකයන් පමණක් නොව ගණුදෙනුකරුවන් පවා දැඩ් විරෝධයක් දක්වති.
සාමාන්‍යයෙන් වෘත්තීය සමිති පාලකයෙකු එළවීමට උද්ඝෝෂණ කරනවා විනා පාලකයෙකු තබා ගැනීමට උද්ඝෝෂණ කරනවා විරලය. සෙනරත් බණ්ඩාර තනතුරින් ඉවත් නොකරන ලෙස ලංකා බැංකු සේවක සංගමය කරන උද්ඝෝෂණයෙන් ඔහු ලංකා බැංකුවට කෙතරම් වැදගත් දැයි පැහැදිලි වනු ඇත.









