හිටපු ඇමති ජෝන්ට ලක්‍ෂ 4ක් දුන් පෞද්ගලික ලිපිකාරිනිය යළි රිමාන්ඩ්

හිටපු ඇමති ජෝන්ට ලක්‍ෂ 4ක් දුන් පෞද්ගලික ලිපිකාරිනිය යළි රිමාන්ඩ්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   සංචාරක සංවර්ධන අමාත්‍යාංශයේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවිකාව සහ තවත් කාන්තාවක් මාර්තු 3 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ(26) නියෝග කළේය.

2019 වසරේදී කැනඩාවේ පැවැත්වෙන ප්‍රදර්ශනයකට යෑමට සංචාරක සංවර්ධන, වනජීවී, ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශයේ සේවකයන්ට ලැබුණු අවස්ථාවක් ප්‍රයෝජනයට ගෙන ව්‍යාජ ලියකියවිලි සාදා පරිබාහිර පුද්ගලයන් කිහිප දෙනකු විදේශගත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම කාන්තාවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

සිද්ධියේ 1 වැනි සැකකාරිය වන ධනංජනී ජයශාන්ති නමැත්තිය හිටපු සංචාරක සංවර්ධන වනජීවී ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංගගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අනුයුක්තව ලිපිකාරිනියකි.

මෙම සිද්ධියට අදාළව වංචා විමර්ශන කාර්යාංශය පරීක්‍ෂණ සිදු කල අතර එහිදී ජෝන් අමරතුංග මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇත.

සරත් නමැති මෙම ආරක්‍ෂක නිලධාරියා පවසා ඇත්තේ දිනක් ධනංජනී ජයශාන්ති නමැති 1 වැනි සැකකාරිය රුපියල් ලක්ෂ 4ක මුදලක් ජෝන් අමරතුංග මහතාගේ කොළඹ පිහිටි නිවසේ දී ඔහුගේ අතටම භාර දුන් බවයි.

නමුත් මෙම ලිපිකාරිනිය කුමන හේතුවක් මත අමාත්‍යවරයාට මුදල් දුන්නේ දැයි තමා නොදන්නා බවද, ඔහු වංචා විමර්ශන අංශයට පවසා ඇත.

හිටපු සංචාරක සංවර්ධන අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයකු වශයෙන් සිටි ලාල් රත්නායක සහ තවත් අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරයකු වූ රහීම් බායි නමැත්තා සිද්ධියට සම්බන්ධ වී ඇති බවද අධිකරණය හමුවේ කරුණු අනාවරණය වී ඇති අතර ඔවුන් දෙදෙනා මේ වන විට අතුරුදන්ව සිටියි.

සංචාරක සංවර්ධන වනජීවී ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්වරියක වන දීපා ලාලනී සන්නසූරිය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව කොළඹ වංචා විමර්ශන අංශය සිද්ධියට අදාළව විමර්ශන පවත්වා තිබේ.