එළඹෙන දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට යෝජනා කර තිබූ ඉන්දු – පාකිස්ථාන ක්‍රිකට් තරඟාවලියට තමන් තවමත් සූදානම් නොමැති බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසනවා.
එහි ප්‍රධාන විධායක නිලධාරි රජිව් ශුක්ලා පවසන්නේ පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් සිදුවිය යුතු කාර්යභාරය නිසියාකාරයෙන් ඉටුවනතෙක් තමන්ට තරඟාවලියක් සඳහා එක්විය නොහැකි බවයි.
දෙරට අතර පවතින දේශපාලන ගැටුම්ද මීට බලපාන බවයි රජිව් ශුක්ලා පෙන්වා දෙන්නේ. තවමත් ඉන්දීය රජයෙන් මෙම තරඟාවලිය සඳහා අනුමැතිය ලැබී නොමැති බවද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළා.
කෙසේ වුවත් පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ෂායර් ඛාන් මීට ප්‍රතිචාර දක්වමින් සඳහන් කර ඇත්තේ මෙම තරඟාවලිය නොපැවැත්වුණහොත් තමන් ඉන්දියාව සමඟ ක්‍රිකට් තරග වර්ජනයක් සිදුකරන බවයි.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සහ ආසියානු ක්‍රිකට් කවුන්සිලය සංවිධාන කරන තරඟවලට ඉන්දියාව සමඟ ක්‍රීඩා නොකරන බවයි ඔහු එහිදී ප්‍රකාශ කර ඇත්තේ.






