FAST NEWS

24×7 Around the Globe

සේයාගේ මරණය කේන්දරයේ ලියවී තිබුනාද ?

සේයා සඳෙව්මිගේ ඝාතනය සිදුවන විට රාහු ග්‍රහයා ගමන් කරමින් සිටියේ ඇයගේ හඳහනේ දෙවැන්න වූ කන්‍යා මතින්ය. රාහු දෙවැන්නේ ගෝචර වන විට කේන්දරයේ මාරක ස්ථානය වූ අටවැන්න දැකීම සිදුවේ. එය මාරක උදාකිරීමකි.කාලකණ්ණි නරුමයකුගේ හැඩි දැඩි දෑතට හසුව කුරිරු ලෙසින් මිලින වූ කොටදෙණියාවේ පුංචි රෝස කුසුම පසුගිය 15 වැනිදා සවස් යාමයේ අවසන් ගමන් ගියාය. සේයා සඳෙව්මි දෝණියගේ ඝාතනය පිළිබඳව අසා කඳුළක් නොසැලූ කෙනෙක් නැති තරම්ය.

ජේ‍යාතිෂයට අනුව ජන්මියකු හට මරණය ගෙනදෙන ග්‍රහ පිහිටීම් රාශියක් ඇත. ඒ අතර ආයුෂ සම්බන්ධව කියැවෙන යෝග රාශියක්ද ඇත. ඒ අතරින් බාල කාලයේදී මියයන යෝගවලට බාලාරිෂ්ට යෝගය යැයි කියනු ලැබේ. එයද කොටස් තුනකට බෙදේ. උපන් දා සිට අවුරුදු නවය දක්වාද, නවයේ සිට දහසය දක්වාද, දහසයේ සිට විසිහතර දක්වාද වේ. කොටදෙණියාවේ සේයා සඳෙව්මිගේ මරණය අයත් වන්නේ බාලාරිෂ්ට යෝගය පළමු කොටසය.2010 සැප්තැම්බර් මස 16 වැනි ගුරුදින අලුයම 4.20ට මීගමුව මහ රෝහලේදී සේයා සඳෙව්මි දැරිය මෙලොව එළිය දුටුවාය. ඇයගේ උපන් ලග්නය රවි ග්‍රහයාට අයත් සිංහය වූ අතර නවාංශකය වූයේ අඟහරු හෙවත් කුජ හිමි මේෂයයි. කේතු හිමි මුල නැකැතේ තෙවැනි පාදයෙන් ඇය උපත ලබා ඇත. ඇයගේ උපතේ සිට කේතු මහ දශාව වසර 3යි මාස 2යි, දින 9ක් ඉදිරියට පැවැතිණි. 2013 නොවැම්බර් මස 25 වැනි දින සිට සිකුරු මහ දශාව ආරම්භ විය.

ශුක්‍ර හෙවත් සිකුරු සිංහ ලග්නයට බලවත් පාපයකි. සෞම්‍ය ග්‍රහයකු ලෙස නම්දරා තිබුණද සිංහයට මාරක ගෙන දෙන්නෙකි. සේයාගේ කේන්දරයේ ලග්නාධිපති රවි ග්‍රහයා බුධ සමඟ යෝගව ලග්නය අරා ඇත. සිංහයට බුධද මාරක ග්‍රහයකු වේ. “ලග්නය” යනු කිසියම් ජීවියකු නිර්මාණයේදී මූල ධාතුව ලෙස ක්‍රියාත්මක වන්නකි. එසේ නම් ලග්නගත මාරක ග්‍රහයකු හට එම ජීවයේ බලය අඩපණ කිරීමේ මනා හැකියාවක් පවතී. ලග්නගත මාරක බුධ තම නිසඟ බලයේ දායකත්වය මෙහිදී නිසි ලෙස ලබාදී ඇති බවක් පෙන්නුම් කෙරේ.සේයා සඳෙව්මිගේ ඝාතනය සිදුවන විට රාහු ග්‍රහයා ගමන් කරමින් සිටියේ ඇයගේ හඳහනේ දෙවැන්න වූ කන්‍යා මතින්ය. රාහු දෙවැන්නේ ගෝචර වන විට කේන්දරයේ මාරක ස්ථානය වූ අටවැන්න දැකීම සිදුවේ. එය මාරක උදාකිරීමකි. එමෙන්ම සේයා සඳෙව්මිගේ සිංහ ලග්න කේන්දරයේ දෙවැන්නේ උපතින් තැන්පත්ව ඇත්තේ සිංහයට අසුබ ග්‍රහයකු වූ සෙනසුරු වීම විශේෂත්වයකි. දෙවැන්නේ තැන්පත් සෙනසුරු මතින් රාහු ගමන් කරමින් අටවැන්න දැකීමද මාරක අවස්ථාවකි.

ඇයගේ කේන්දරයේ අටවැන්න වූයේ මීනයයි. මීනයේ අධිපති ගුරු ග්‍රහයා අටවැන්නේම තැන්පත්ව ස්වක්‍ෂේත්‍රව ඇත. ගුරු උපතින් වක්‍රව සිටි අතර යුරේනස් ග්‍රහයාද ගුරු සමඟ යෝගව අටවැන්නේය. සේයා සඳෙව්මි දියණියගේ සිංහ ලග්න කේන්දරයට අනුව 22 වැනි දෙර්කාණාධිපතියා වන්නේ ගුරුය.
22 වැනි දෙර්කාණාධිපතියාගේ මහ දශා අතුරු දශා කාලවලදී ජන්මියාට මාරක උදාකිරීම ජේ‍යාතිෂමය සිද්ධාන්තයකි. ඒ න්‍යායට අනුව ඇයගේ කේන්දරයේ ගුරු අටවැන්න වූ මාරක ස්ථානයේ වක්‍රව යුරේනස් සමග යෝග වීම අකල් හදිසි මරණයකට අතවැනීමකි. එමෙන්ම ඇයගේ කේන්දරයේ තුන්වැන්න වූ තුලාවේ පිහිටමින් මෝඩ, නපුරු තත්ත්වයෙන් සිටි කුජගෙන් හයවැන්න වූයේ අටවැන්නයි. හය සතුරු කරදර හා සතුරන් පිළිබඳව නිවේදනය කරන ස්ථානය බැවින් කුජගෙන් හය වැන්නේ 22 වැනි දෙර්කාණාධිපතියා වූ ගුරු පිහිටීම මත සතුරකුගේ මුග්ධ ක්‍රියාවක් ඇයගේ මරණය සඳහා හේතුකාරක වන්නට ඉඩකඩ සලසා ඇත.
ජේ‍යාතිෂයේ සඳහන් න්‍යායන්ට අනුව ජන්මියකු මරණයට පත්කිරීමට එක් ග්‍රහයකුට පමණක් කළ නොහැක්කකි. ඒ සඳහා ග්‍රහයන් කිහිපදෙනකුගේ දායකත්වය අනිවාර්යයෙන්ම ලබාගත යුත්තකි. සේයා දියණියගේ මරණයටද එවැනි ග්‍රහ දායකත්වයක් ලැබී තිබෙන බව සියුම් ලෙස ඇයගේ කේන්දරය විමර්ශනයට ලක්කිරීමෙන් පැහැදිලි විය.

තුන්වැන්නේ කුජ සමඟ යෝගව ස්වක්‍ෂේත්‍රව සිටි සිකුරු ග්‍රහයා සේයා සඳෙව්මි දියණියට දන මන පිනවන රූමත් මෙන්ම ආකර්ෂණීය රූපයක් ලබාදීමට තරම් කාරුණික වී ඇත. එහෙත් සිංහයට මාරක සිකුරුගෙන් ඇය ලද එම දායාදයම ඇයගේ සිඟිති දිවියට, කාමාතුරයකුගෙන් මරණය ළඟා කරවීමට පිටිවහලක් වී ඇත.සේයා සඳෙව්මිගේ කේන්දරයට අනුව ඇයට මරණය ගෙන ඒමට සමත්කම් පෑ තවත් ප්‍රබල ග්‍රහ පිහිටීමක් ඇත. ඇගේ සිංහ ලග්න කේන්දරයේ පස්වැන්න වූ ධනුවේ සඳු හෙවත් චන්ද්‍රයාගේ පිහිටීමයි. එය ජන්ම ඒරාෂ්ටක තත්ත්වයක් නිර්මාණය කර ඇත.
ඇයගේ කේන්දරයට අනුව ඇයට ජන්ම ඒරාෂ්ටක
අපලය ආරම්භ වූයේ 2014-11-03 වැනි දින සිටය.

සෙනසුරු ග්‍රහයා ඇයගේ කේන්දරයේ හතරවැන්න වූ (චන්ද්‍රයාගෙන් ‍ෙදාළහට) වෘශ්චිකයට ඇතුළු වීමෙන් ජන්ම ඒරාෂ්ටකය උදාවිය. එම සෙනසුරුගේ ජන්ම ඒරාෂ්ටකයද සේයා සඳෙව්මිගේ අකල් මරණයට දායකත්වය සපයා ඇති බව සක්සුදක් සේ පැහැදිලිය. සේයා සඳෙව්මි දියණියගේ මරණය සිදුවන අවස්ථාව වන විට ඇය ගතකරමින් සිටියේ තමන්ට මාරක, සිකුරුගේ මහ දශාවය. එමෙන්ම ඇගේ සිංහ ලග්න කේන්දරයට 22 වැනි දෙර්කාණාධිපතියා වූ අටවැන්නාධිපති වක්‍ර ගුරුගේ අතුරු දශාවද ඇය ගතකරමින් සිටි බව පැහැදිලිය.
මාස පහයි දස දිනක් වූ ගුරු අතුරු දශාව අවසන් වීමට නියමිත වූයේ 2016 ජනවාරි 1 වැනි දිනයේදීය. එහෙත් ඊට දින 125කට ප්‍රථම මුළු රටම හඬවමින් ඇය සදහටම අපෙන් සමුගත්තාය. කොටදෙණියාවේ “පුංචි රෝස කුසුම” ඔබට නිවන් සුව.
සේයා සඳෙව්මිගේ උපන් වේලාව ලබාදීමට වෙහෙස වූ කොටදෙණියාවේ සුජාතා මහත්මිය හා ජගත් මහතා, අකරංගන ප්‍රණීතසමන් කුමාර හා විමලරත්න ජයවර්ධන යන මහත්වරුන්ට විශේෂ ස්තුතිය.

පාරම්පරික ජේ‍යාතිෂවේදී
කොටදෙණියාවේ ඩී.ඩග්ලස් නිමලවංශ
ගුණවර්ධන