(ෆාස්ට් නිව්ස් | කොළඹ) – “අපේ රටේ අධිකරණය ස්‌වාධීන නම්, අපේ රටේ මහ බැංකුවේ මුදල්වලට වුණේ මොකක්‌ද කියලා හොයන්න පුළුවන්. අපේ රටේ මාධ්‍ය ආයතනවලින්, සමාජ ජාල ක්‍රියාකාරීන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා මෙම වෝහාරික විගණන වාර්තාව යට ගහන්න ඉඩදෙන්න එපා කියලා”.
මේ පසුගියදා ජනතා විමුක්‌ති පෙරමුණේ දේශපාලන මණ්‌ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා බත්තරමුල්ලේ පිහිටි එම පක්‌ෂ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කල කාරණයකි.
එහිදී ඔහු පැවසුවේ “අපක්‌ෂපාතී විද්වත් මණ්‌ඩලයක් විසින් මෙම වෝහාරික විගණන වාර්තාව කියවන්න කියලා අපි යෝජනා කරනවා. එතකොට පැහැදිලි වෙයි අපේ රටේ අහිංසක මිනිසුන්ගේ මුදල් කොල්ලකෑවේ කවුද කියලා. අපේ රටේ කම්කරුවන්ගේ අර්ථ සාධක අරමුදල් කොල්ලකෑවේ කොහොමද කියලා. ගමේ ගොවියන්ගේ, කම්කරුවන්ගේ, වතු කම්කරුවන්ගේ පඩි සල්ලි තමයි මේ මූල්‍ය වංචාකරුවන් විසින් කොල්ල කන්නේ. කම්කරුවන් ඉතා දුක් මහන්සි වී හම්බකරන සල්ලි මේ සුදු කරපටි අපරාධකාරීන් විසින් රුපියලක් වත් හම්බනොකර මංකොල්ල කනවා” යැයි හිටපු කෝප් කමිටු සභාපති පර්ලිම්නේතු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පැවසීය.
මෙමෙ මාධ්‍ය සාකච්ඡාවෙන් පසුව අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් සිය facebook ගිණුමේ මෙසේ සටහනක් තබා තිබුණි.
මේ සම්බන්ධයෙන් දෙරණ 360 වැඩසටහන් සමඟින් සම්බන්ධවූ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසන්නේ අජිත් නිවාඩ් කබ්රාල්ගේ මෙම face book සටහන හොරාට කලින් කෙහෙල් කැන වැට පැනීමක් ලෙසයි.
ලොව හොදම විගණන ආයතන වලින් පළවෙනි ස්ථාන 10 ඇතුළත සිටින KPMG ආයතනය සහ BDO ආයතන විසින් සකස් කළ මෙම වාර්ථා ‘හොරාගේ අම්මගෙන් පේන අසනවා’ යැයි කියන කබ්රාල් මහතාගේ දැනුම පරීක්‍ෂා කල යුතු බවයි.
යහපාලන ආණ්ඩුව සමයේ (2015-2016) දී බැඳුම්කර වෙන්දේසිවලදී වංචා කිරීම අතිශය බරපතළ අපරාධයක් බව දැන් රටම දන්නා කරුණකි.
නමුත් 2002 සිට 2015 දක්වා කාලසීමාව තුළදී බැඳුම්කර නිකුත් කිරීමේදී පාඩුවක් සිදුව ඇතිද යන කාරණාව කවුරුත් නොදන්නා කරුණකි.
2008 න් පසුව රාජ්‍ය ණය දෙපාර්තුමේන්තුව EPF ඇතුළු තමන් යටතේ පවතින ආයතන හැර පිටින් සිටින ප්‍රාථමික ගැණුම්කරුවන්ට සෘජුව බැඳුම්කර නිකුත් කරන්නට පටන්ගෙන ඇත. ඒ පිළිබඳව මුදල් මණ්ඩලයෙන් ප්‍රශන් කර නැත. එහෙත් ඒ පිළිබඳව මාසකිව මහ බැංකු අධිපතිවරයාට දැනුවත් කර ඇත.
බැඳුම්කර නිකුත් කිරීමේදී වැඩි ඵලදා අනුපාතියක් සමග බැඳුම්කර නිකුත කර ඇත. එය මහ බැංකුවට අවාසියකි. බැඳුම්කර මිලදී ගන්නා අයට වාසියකි. එලෙස වැඩි ඵලදා අනුපාතිකයක් සමඟ එම කාලසීමාවේදී නිකුත් කර ඇති බැඳුම්කර ප්‍රමාණය ලෙහෙසි පහසු නොවේ. රුපියල් බිලියන 337.30ක් වටිනා බැඳුම්කර එලෙස නිකුත් කර ඇත.
රුපියල් බිලියන 7763ක් වටිනා බැඳුම්කර නිකුත් කර ඇත්තේ ඒ වෙද්දීත් පැවති ද්විතීයික වෙළඳපොලේ ඵලදා අනුපාතිකයට වඩා වැඩි ඵලදා අනුපාතිකයක් සමගය. ඒ නිසාම සිදුව ඇති පාඩුව රුපියල් මිලියන 871.10කි. ඒ අනුව වැරදි ඵලදා අනුපාතිකය නිසා සිදුව ඇති පාඩුව රුපියල් මිලියන 889.81කි.
සෘජු බැඳුම්කර නිකුත් කිරීමේදි සිදුවූ තවත් වරදක් වෝහාරික වාර්තාවෙන් පෙන්වාදී තිබේ. ඒ බැඳුම්කර නිකුත් කිරීමට එකඟතා ඇති කරගැනීමෙන් පසුව එම ගණුදෙනුව සිදුකිරීම දක්වා ගතව ඇති කාලයයි. සාමාන්‍යයෙන් දින පහක් ඇතුළත ගණුදෙනුව සිදුවිය යුතු වුණත් බිලියන 249.92ක් වටිනා ගණුදෙනු 195ක් සිදුව ඇත්තේ දින 5කට වැඩි කාලයක් ගතවී බවයි.
ඒ අතරින් රුපියල් බිලියන 13.11ක් වටිනා ගණුදෙනු තීරණය කරන මොහොත වෙද්දී ද්විතීයික වෙළඳපොලට වඩා වැඩිවී ඇත. ඒ අනුව රජයට සිදුව ඇත්තේ පාඩුවකි.
පළවැනි විගණන වාර්තාවෙන් වෙන්දේසි ක්‍රමය පාවිච්චි කිරීම නිසා සිදුව ඇති පාඩුව පෙන්වාදී තිබේ. 2002 සිට 2004 දක්වා වෙන්දේසි පිළිබඳ තොරතුරු නැති නිසා එම වාර්තාවෙහි ඇත්තේ 2005 සිට 2015 දක්වා වෙන්දේසි ක්‍රමයෙන් සිදුව ඇති පාඩුවය. එම කාලයේදී රුපියල් බිලියන 558.08ක් වටිනා ගණුදෙනු වෙන්දේසි ක්‍රමයට කර ඇත. සිදුව ඇති පාඩුව රුපියල් මිලියන 6.03කි.
එම කාලයේදී බරපතල ගණයේ පාඩු සිදුව ඇත්තේ වෙන්දේසි ක්‍රමයෙන් නොවේ. සෘජු නිකුතු ක්‍රමයෙන්ය. 2002 සිට 2015 දක්වා සෘජු ක්‍රමයට බැඳුම්කර ගණුදෙනු 4,670ක් සිදුකර තිබේ. එහෙත් සෘජු නිකුතු ක්‍රමයට වැඩිම ගණුදෙනු ප්‍රමාණයක් සිදුව ඇත්තේ 2005 සිට 2015 දක්වා කාලසීමාවට අදාලවය. සංඛ්‍යාව 4,504 කි. 2005 ජනවාරි 01 වැනිදා සිට 2015 පෙබරවාරි 28 වැනිදා දක්වා කාලසීමාවේදී සෘජු නිකුතු ක්‍රමටය බැඳුම්කර නිකුත් කිරීම නිසා සිදුව ඇති අවම පාඩුව රුපියල් බිලියන 10.47 උපරිම පාඩුව බිලියන 10.62ක් බව වාර්තාවෙන් පෙන්වයි.
මේ අනුව බලන කල මහ බැංකුව අධිපතිවරුන් කීපදෙනෙක් යටතේ මහ දවල් මංකොල්ලකාලා තිබේ.
මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ වරදකරුවන් සොයනවා නම් මේ දෙපාර්ශවයේම හොරකම් සෙවිය යුතුය.
අර්ජුන් මහේන්ද්‍රන් කල්ලිය මෙන්ම කබ්රාල් කල්ලියත්, ඔවුන්ට උපදෙස් දුන්නු දේශපාලන නායකයනුත් අධිකරණය හමුවට ගෙන් විය යුතුය.
මුදල් ඇමැති වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‌ෂ හට, මෙම ගනුදෙනුවල අගින් හෝ මුලින් පටන් ගැනීමට හැක.
බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්න දැන් ජනවරමක් ලැබි තිබේ.
69 ලක්‌ෂය හිතුවේ රනිල් වික්‍රමසිංහලාගේ හොරකම් පමණක්ය.
නමුත් දැන් වෝහාරික විගණන වාර්තාවට අනුව පැහැදිලි වන්නේ 2015 ට කලින්ද හොරකම් සිදුවී ඇති බවය.
ජනතාවගේ අර්ථ සාධක අරමුදල කොල්ලකාලා තිබේ. මේ නිසා එම මංකොල්ලකරුවන්ට අධිකරණ ක්‍රියාමාර්ග ගන්න කඩිනමින් කටයුතු කල යුතුය.
මීට එරෙහිව දැන් අධිකරණ ක්‍රියාවලිය ආරම්භ කිරීමට ආණ්‌ඩුවට බලය ඇත.
අජිත් නිවාඞ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ 12 වැනි අධිපතිවරයා වන අතර 2006 වසරේ සිට 2015 වසර දක්වා එම ධුරය දැරුවේය.
ඒ අනුව 2006 ජුලි 01වන දා සිට 2015 ජනවාරි 9 වන දා දක්වා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස ඔබ කළ කී දේ ඔබට අමතක වූවද රටේ ජනතාවට ඒවා අමතක නැත.
වර්තමානයේ රටේ ආර්ථිකය ඇදවැටී ඇති තත්ත්වයට අජිත් නිවාඞ් කබ්රාල් මහතාද වගකිවයුතු බව රටවැසියන් දන්නා කරුණකි.
2011 වසරේ මුළු ලෝකයම කඩා වැටෙන ආර්ථිකයක් ලෙස හඳුනාගත් ග්‍රීසියේ බැඳුම්කරවල අපේ රටේ ජනතාවගේ මුදල් ආයෝජනය කිරීමට තීරණය කළ අවස්ථාව ඔබට අමතක ද?
ලාභය කෙසේවෙතත් ආයෝජනය කළ මුදලවත් ආපසු ලබාගැනීමට නොහැකිවීම හේතුවෙන් රුපියල් මිලියන 2100 කට වඩා පාඩුවක් මේ ගනුදෙනුවෙන් රටට සිදු විය.
ඛනිජතෙල් මිලදී ගැනීමට හෙජින් ක්‍රමයක් හඳුන්වාදීමට ඔබ කළ මැදිහත්වීම රටේ ජනතාවට නම් තවමක් අමතකවී නොමැත.
2007 සහ 2008 කාලවලදී ඩොලර් 80 ට මිලදීගත හැකිව තිබූ තෙල් බැරලයට ඩොලර් 110 බැගින් ගෙවීමට සිදු වූයේ මේ වැරදි තීරණය නිසා නොවේ ද.
අවසානයේ ගිවිසුම්ගත වූ බැංකු මුදල් අයකරගත්තේ ලන්ඩන් මහාධිකරණය හමුවේ අපේ රටට එරෙහිව නඩු පැවරීමෙන් පසුවය.
ලන්ඩන් මහාධිකරණයේ නඩු තීන්දුව අනුව එක් බැංකුවකට අමෙරිකානු ඩොලර් දස ලක්‍ෂ 162 ක මුදලක් ගෙවීමට නියමවුන බව කබ්රාල් මහතාට අමතක ද.
2018 පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ සත්කාරකත්වය හම්බන්තොටට ලබාගැනීම සඳහා හිතවතුන් පිරිවරාගෙන කුලියට ගත් ගුවන් යානයකින් 2013දී ගිය ලන්ඩන් සංචාරයෙන් රටට ලැබුන ප්‍රතිලාභය කුමක් ද.
කොටස් වෙළෙඳපොළේ කොටස් වටිනාකම් කෘතිමව ඉහළ පහළ දමා දර්ශක වෙනස්කර පෙන් වූ ආකාරය කාටත් අමතකවීමට හේතුවක් නොමැත.
ප්‍රධාන නියාමන ආයතනය වන මහ බැංකුවේ අධිපතිව සිටියදී පම්පින් ඩම්පින් හරහා සේවක අර්ථ සාධක අරමුදල ඇතුලු රටේ ජනතාවගේ පොදු අරමුදල් පාඩු ලබන ආකාරයෙන් ආයෝජනය කර තෝරාගත් පිරිසකට ප්‍රතිලාභ අත්කර දුන්නේ ඔබ මහ බැංකු අධිපතිව සිටි කාලසීමාවේ නොවේ ද.
හයට් හෝටල් ව්‍යාපෘතිය, මලයාසියානු අර්ථසාධක අරමුදල වැනි ස්ථානවල සේවක අරමුදල් ආයෝජනය කර ඒවායේ ප්‍රතිලාභ පොදු ජනතාවට අහිමි කළ අවස්ථා ඕනෑතරම් පෙන්වාදිය හැක.
මහ බැංකුවේ සේවක අරමුදල් හා විදුලි බල මණ්ඩලයේ සේවක අරමුදල් මිලියන 500 ක් පමණ ඔබගේ කාලයේ පිල්ලි ගිය ආකාරය තවමත් අභිරහසක් ව ඇත.
අජිත් නිවාඩ් කබ්රාල් හිටපු අධිපතිතුමනි, මේ එකක් දෙකක් පමණි.
අජිත් නිඩාඩ් කබ්රාල් මහතාගේ කියුම් කෙරුම් 2015 වසරේ වත්මන් ආණ්ඩුව බලයට පත් වූ අලුත අධිකරණයට හමුවේ නඩුවක් ලෙස ගොනු කිරීමට පියවර ගෙන තිබුණි.
තරුණ නීතිඥයෙකු වන කැලුම් දර්ශන කුමාරසිංහ මහතා මේ නඩු ගොනු කළේ, ග්‍රීක බැඳුම්කර ඇතුලු අක්‍රමිකතා ගැන පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරමිනි.
නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් තිබියදී කබ්රාල් මහතාට හිතවත් පාර්ශ්වයක් වූ පළාත් සභා මන්ත්‍රී රේණුක පෙරේරා මහතා බැඳුම්කර වංචාව පිළිබඳව මහ බැංකුවේ එවක අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට එරෙහිව අධිකරණයේ නඩුවක් ගොනු කළේ ය.
මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළව මහේන්ද්‍රන් මහතාට නොතීසි නිකුත් කළ අතර කබ්රාල් මහතාට එරෙහි නඩුවට අදාළව ඔහුටත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටත් නොතීසි නිකුත් කළ යුතු බවට අධිකරණයේ සාකච්ඡා වෙමින් තිබියදී නඩු දෙකම දෙපාර්ශවය විසින් ඉල්ලා අස්කර ගෙන තිබේ.
2015 අගෝස්තු 27 මේ නඩු ඉල්ලා අස්කර ගත්තේ මහ මැතිවරණය ආසන්නයේ තිබියදී ය.
බැඳුම්කර වංචා කළ බව කියන පර්පෙචුවල් ට්‍රෂරීස් සමාගමට ප්‍රාථමික ගැනුම්කරවෙකු ලෙස කටයුතු කිරීමට අවසර දුන්නේ අජිත් නිඩාඩ් කබ්රාල් මහතා මහ බැංකුවේ අධිපතිව සිටි 2013 වසරේදී බව දැන් රටම දන්නා කරුණකි.
ඒ වනවිට කබ්රාල් මහතාගේ සහෝදරිය වන ශිරෝමි වික්‍රමසිංහ මහත්මිය පර්පෙචුවෙල් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමජිකයෙකි.
පර්පෙචුවෙල් ට්‍රෂරීස් අයත් වූ මව් සමාගම වන පර්පෙචුවෙල් කැපිටල් හෝල්ඩින් සමාගමට ප්‍රාථමික ගැනුම්කරුවෙකුවීමට ප්‍රමාණවත් ප්‍රාග්ධනය පවා නොතිබූ අවස්ථාවක ප්‍රාථමික ගැනුම්කාර අවසරය ලබාදී ඇත.
අජිත් නිවාඩ් කබ්රාල් මැතිතුමනි රටේ ජනතාව මේවා නොදන්නා බව ඔබ සිතනවා නම් එය ඔබගේ මෝඩකම විය හැක.
උපුටා ගැනීම badusure.lk









