පුරවැසි පනතට ඉන්දීය පාර්ලිමේන්තුවේ අනුමැතිය

පුරවැසි පනතට ඉන්දීය පාර්ලිමේන්තුවේ අනුමැතිය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මුස්ලිම් බහුතරයක් වෙසෙන පාකිස්තානය, ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය යන රටවල්වල් වල සිට ඉන්දියාවට පලා ආ හින්දු, බෞද්ධ, ජෛන, සික්,ක්‍රිස්තියානි වැනි සුළු ආගමික ජන කොටස්වලට අයත් අනවසර සංක්‍රමණිකයන්ට 2014 වර්ෂයේ දෙසැම්බර් 31වන දිනට පෙර පුරවැසිභාවය ලබාදිය හැකිවන පරිඳි ඉන්දීය පුරවැසි පනත සංශෝධනය කර තිබේ.

මීට දින කිහිපයකට පෙරදී සංශෝධිත පනතට ලෝක් සභාවේ අනුමැතිය හිමිවූ අතර පසුව එය රාජ්‍ය සභාව වෙත ඉදිරිපත් කළේය.

ඡන්ද පනතට පක්ෂව රාජ්‍ය සභා ඡන්ද විමසුමේදී ඡන්ද 125ක් හිමිවූ අතර ඊට විපක්ෂව හිමිවුණේ ඡන්ද 105ක් පමණි.

භාරතීය ජනතා පක්ෂය නිවේදනය කරන ආකාරයට මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල්වලදී ආගමික වශයෙන් හිංසනයට ලක්වී තම රටට පලා ආ පුද්ගලයන්ට ආරක්ෂිත බිමක් නිර්මාණය කර දීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබේ.

ඊට දැඩි විරෝධයක් විපක්ෂ දේශපාලනඥයන් ඇතුළු පාර්ශව රැසකගෙන් එල්ලවී තිබේ.

ඉන්දීය ව්‍යවස්ථාව හා ප්‍රජාතන්ත්‍රවාදය නව පනත තුළින් උල්ලංඝනය කර ඇති බවටයි විපක්ෂය චෝදනා කරන අතර ප්‍රාන්ත කිහිපයකදී සංශෝධිත පුරවැසි පනතට එරෙහිව විරෝධතා පැවැත්වීය.

රජය විසින් විරෝධතා හේතුවෙන් ඇසෑම් ප්‍රාන්තයේ පොලිස් ආරක්ෂාව තර කිරීමට සහ ඇඳිරි නීතිය පැනවීමටත් පියවර ගත්තේය.

ප්‍රචණ්ඩක්‍රියා ඇතිවීම වැළැක්වීම සඳහා දිස්පූර් නගරයේ අන්තර්ජාල හා ජංගම දුරකතන පහසුකම් කප්පාදු කිරීමටත් පියවර ගෙන ඇති බව සඳහන් වෙයි.

ශ්‍රී ලංකාවෙන් පැමිණ සිටින සුළු ජාතික සංක්‍රමණිකයන්ට මෙම පනත අදාළ වන අයුරින් සිදු නොකරන්නේ ඇයිද යනුවෙන් දකුණු ඉන්දීය සිනමා නළු සහ දේශපාලනඥයෙකු වන කමල් හසන් ඉන්දීය රජයෙන් ප්‍රශ්න කර තිබේ.

ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා විරෝධතාවලට ප්‍රතිචාර දක්වමින් පැවසුයේ මෙය මුස්ලිම් විරෝධී පනතක් නොවන බවයි.

එබැවින් ඉන්දියාවේ වෙසෙන මුස්ලිම් ජාතිකයන්ට ඉන් කිසිදු බලපෑමක් නොවන බවත් ඉහත කී ඉස්ලාම් රාජ්‍යයන් තුනේදී හිංසනයට ලක්වූ සුළුජාතීන්ට පමණක් මේ යටතේ පුරවැසිභාවය පිරිනමන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මෙය අගමැති මෝදිගේ රජය විසින් ක්‍රියාත්මක කරන ව්‍යාප්තවාදී සැලසුමක් බව පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ගේ අදහස වන අතර නව ඉන්දීය පුරවැසි පනත සංශෝධනය කිරීමෙන් ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය සහ ද්විපාර්ශ්වික ගිවිසුම උල්ලංඝනය වී ඇති බව ඔහු වැඩි දුරටත් පවසයි