(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව (SLLRDC) මඟින් පාලනය වන රුපියල් මිලියන 400 ක වියදමකින් යුතුව ඉදිකරන ලද සෝදා හලන ලද මුහුදුවැලි අළෙවි කිරීමේ ව්‍යාපෘතිය නුදුරේදීම ආරම්භ කිරීමට නියමිතය.
ඒ අනුව දෙවන අදියර ලෙස එහි කාර්යසාධනය ඉහළ නැංවීම සහ මහජනතාවට සහනදායී මිල යටතේ වැලි සැපයීමේ අරමුණින් යුතුව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සකස් කරන ලද ඇසුරුම් කළ වැලි පැකට්කර බෙදා හැරීම සඳහා වත්තල කෙරවලපිටියේ පිහිටි ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු භුමියේ ස්ථාපිත මුහුදු වැලි ඇසුරුම් මධ්‍යස්ථානය විවෘත කිරීම සහ කොළඹ, කළුතර, ගාල්ල යන දිස්ත්‍රික්කයන්හි ඉදිකිරීම් අලෙවිසල් වෙත වැලි ඇසුරුම් බෙදාහැරීම නොවැම්බර් 01 දා අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.
දැනට වෙළඳපලේ අළෙවි වන වැලි කියුබ් එකක සාමාන්‍ය මිල රුපියල් 18,000 ක් පමණ වේ.
එමෙන්ම වර්තමානයේ විවිධ හේතූන් නිසා පාරිභෝගිකයාට ගංගා වැලි ලබා ගැනීම දුෂ්කර වනවා මෙන්ම විවිධ හේතූන් මත එම වැලි අපතේ යාමක් ද සිදුවේ.
එහෙත්, පිරිසිදු කරන ලද මුහුදු වැලි භාවිතයේ දී එවැනි කිසිඳු ගැටළුවක් පැන නොනගින හෙයින් විශාල ලාභයක් පාරිභෝගිකයාට ලැබෙන අතර , ඉතා සහනදායි මිලට මිල දී ගත හැකි මෙම වැලි (50Kg) පැකට්ටුවක විකුණුම් මිල 220 කි.







