එංගලන්ත ප‍්‍රාන්ත ක‍්‍රිකට් තරගාවලියේදී තවත් ශතකයක් වාර්තා කිරීමට කුමාර් සංගක්කාර ඊයේ (16) සමත් වුණා. ඒ, සරේ කණ්ඩායම සහ ලැන්කෂයර් කණ්ඩායම අතර පැවැත්වෙන සිව් දින ක‍්‍රිකට් තරගයකදීයි.
සංගක්කාර සරේ කණ්ඩායම නියෝජනය කරමින් ක‍්‍රීඩා කරනවා. ඊයේ (16) මෙම තරගයේ තුන්වන දිනයයි. සරේ කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 480 ක් ලබාගත්තා. දෙවන ඉනිමේදී කඩුලු 7ක් දැවී ලකුණු 283යි.
කුමාර් සංගක්කාර ලකුණු 118 ක් ලබාගත්තා. හතරේ පහර 15 ක් ද ඊට ඇතුළත්. ඊයේ තරගය නතර කරන විට සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දෙන ලැන්කෂයර් කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 22 ක් ලබාගෙන සිටියා.
පළමු ඉනිමේදී ඔවුන් සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 272 ක් පමණයි. ඒ අනුව තරගය ජයගැනීම සඳහා ලැන්කෂයර් කණ්ඩායම තවත් ලකුණු 470 ක් ලබාගත යුතු වනවා. අද මෙම තරගයේ අවසන් දිනයයි.
ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර එංගලන්ත ප්‍රාන්ත එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ එංගලන්ත සරේ ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරමින් තවත් ශතකයක් නොටින්හැම්ෂෙයාර් කණ්ඩායම සමග පැවැති අවසන් පූර්ව තරගයේදීද වාර්තා කිරීමට සමත් වුණා.
එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ කුමාර් සංගක්කාර පන්දු 138 කදී ලකුණු 166 ක් ලබා ගැනීමට සමත් වුණා. ඔහුගේ ඉනිමට හතරේ පහර 13ක් සහ එක් හයේ පහරක් ඇතුළත් වුණා.
එම තරඟය ජය ගත්තේ කුමාර් සංගක්කාර නියෝජනය කළ සරේ කණ්ඩායමයි. එහි තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේ ද කුමාර් සංගක්කාරයි.
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ද හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන කුමාර් සංගක්කාර ශතක හඹායෑමේ සුපිරි වීරයෙක් ලෙස ක්‍රීඩා ලෝලීන් අතර ජනප්‍රියයි.






