FAST NEWS

24×7 Around the Globe

හෙල්මට් ක්‍රමයෙන් රට යැවීමේ අලුත්ම ක්‍රමය පසුපස කාර්යාංශයේ නිලධාරීන්..

වෙනත් අයෙකුගේ ගමන් බලපත්‍රයකට තවත් පුද්ගලයෙකුගේ ඡායාරූපයක් ව්‍යාජ ලෙස යොදා විදේශගත කිරීම හෙවත් හෙල්මට් ක්‍රමය නමින් සිදුකරන ජාවාරමකට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ගේ සම්බන්ධයක් තිබෙන බවට කරුණු අනාවරණය වී ඇතැයි විදේශ රැකියා අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව විෂයභාර අැමතිනී තලතා අතුකෝරාල මහත්මිය ප්‍රකාශ කළාය. මීට අමතරව මෙම ජාවාරමට කාන්තාවක්, සෞදි ජාතිකයෙක් සහ විදේශ රැකියා නියෝජිත ආයතන කිහිපයක පුද්ගලයන් සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇතැයි ද ඇය කියා සිටියාය.

නීති විරෝධී ලෙස වෙනත් පුද්ගලයන්ගේ විදේශ ගමන් බලපත්‍ර භාවිත කිරීමට අමතරව මොවුන් විසින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අයත් මුද්දර භාවිත කර තිබෙන බවද අතුකෝරාල මහත්මිය පැවසුවාය.

සංචාරක වීසා යොදාගෙන ඩුබායි හි රැකියා සඳහා ගෘහ සේවිකාවන් ලෙස කාන්තාවන් පස්දෙනෙකු විදේශගත කිරීමට සූදානම් බවට ලැබුණු තොරතුරක් මත කටුනායක ගුවන්තොටුපළ පිටවීමේ පර්යන්තයේදී මෙම ජාවාරමට සම්බන්ධ කාන්තාවක්, සෞදි ජාතිකයෙක් සහ තවත් පුද්ගලයෙක් පෙරේදා (14දා) අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය.