FAST NEWS

24×7 Around the Globe

වසීම් තාජුඩීන් යළිත් මිහිදන් කරන්නට මහේස්ත්‍රාත් නියෝග.

ඝාතනයට ලක්වූ බව කියන රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ මෘත ශරීරය ලබන දහඅට වන දින නැවත මිහිදන් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ඊයේ (15) රහස් පොලිසියට අවසර ලබා දුන්නා. මෘත ශරීරයට  සම්බන්ධ විමර්ශන නිමවී ඇති නිසා නැවත මිහිදන් කිරීමට අවසර දෙන ලෙසට රහස් පොලිසිය කළ ඉල්ලීමකට අනුව මෙම නියෝගය නිකුත් කෙරුණා.

වසීම් තාජුඩීන්ගේ වැඩිමහල් සොහොයුරිය වන ෆාතිමා අයේෂා තාජුඩීන් වෙත  මෘත ශරීරය බාර දීමට අධිකරණය නියම කළ අතර ඊට අවශ්‍ය පහසුකම් සපයන ලෙස මොහොමඩින් ජුම්මා මුස්ලිම් පල්ලියේ පාලන කමිටුවේ සභාපතිවරයා වෙත මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවා.

පසුගිය මස දහවන දින ගොඩගත් දේහයේ අස්ථි කොටස් සාම්පලය, ජාන පරීක්ෂණයක් සිදු කිරීම සඳහා රහස් පොලිසියේ මිනී මැරුම් අංශයේ පොලිස් සැරයන් රත්නප්‍රිය මහතා භාරයේ ජින්ටෙක් ආයතනයට භාර දීම සඳහා මහේස්ත්‍රාත්වරයා මෙහිදී උපදෙස් දුන්නා.