සංචාරයේ ගැටළු විසඳේ, ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්ථානයට ?

සංචාරයේ ගැටළු විසඳේ, ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්ථානයට ?

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ මස 27 වැනිදා සිට ඔක්තෝබර් 9 වැනිදා දක්වා යෙදී ඇති ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන ක්‍රිකට් සංචාරය පැවතේද නැද්ද යන්න සම්බන්ධයෙන් මේ වන විට අර්බුධකාරී තත්ත්වයක් පැන නැඟී තිබෙන අතර එකී තරගාවලිය සඳහා පාකිස්තානයේ සත්කාරකත්වය ලබාදීම පිළිබඳ විශ්වාසයකින් පසුවන බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ඒහ්ෂාන් මානි (Ehsan Mani) මහතා විදෙස් මාධ්‍ය අමතමින් ප්‍රකාශයක් නිකුත් කරමින් දැඩි විශ්වාශය පළකර තිබේ.

විස්සයි-20 තරග 3ක් හා එක්දින තරග 3ක් ඇතුළත් එම තරගාවලිය පාකිස්තානයෙන් පිටත වෙනත් ස්ථානයක් කරා රැගෙන යාමේ අපේක්ෂාවක් තමන්ට හෝ තම ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන්ට නොමැති බවද පාකිස්තාන ක්‍රිකට් සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති ඒහ්ෂාන් මානි “වෙනත් ස්ථානයක් සෙවීමේ අවශ්‍යතාවක් අපිට නැහැ. වෙනත් ස්ථානයකට මාරු වෙන්න වගේම වෙනත් විකල්පයක් ලබාගන්න අපිට දැන් කාලය මදි. මෙය පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන තරගාවලිය නිසා මෙය පාකිස්තානය තුළ පැවැත්වේවි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් සමඟ අපි සාකච්ඡා කරමින් සිටින්නෙ. ඔවුන් තම කණ්ඩායම පාකිස්තානයට එවන එක ගැන ධනාත්මක තත්ත්වයක පසුවෙනවා” යනුවෙන් පවසා තිබේ.

මේ අතර එක්දින නායක දිමුත් කරුණාරත්න ඇතුළුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජේ‍යෂ්ඨ ක්‍රීඩකයන් 10 දෙනකු පෞද්ගලික හේතු දක්වමින් මෙම සංචාරයෙන් ඉවත් වුවද නවක ක්‍රීඩකයන්ද ඇතුළත් කරමින් පාකිස්තාන සංචාරයේ විස්සයි-20 හා එක්දින සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත්කරන ලදී. යම් හෙයකින් මෙම තරගාවලිය නියමිත පරිදි පැවැත්වුවහොත් එක්දින තරග 3 කරච්චි ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීද විස්සයි-20 තරග 3 ලාහෝර් හිදීද පැවැත්වීමට නියමිතය.