“පාකිස්තානයේ ආරක්ෂක තත්වයට වඩා ක්‍රිකට් ක්‍රීඩාව වැදගත්” – ලහිරු තිරිමාන්න ගේ විශේෂ ප්‍රකාශය

“පාකිස්තානයේ ආරක්ෂක තත්වයට වඩා ක්‍රිකට් ක්‍රීඩාව වැදගත්” – ලහිරු තිරිමාන්න ගේ විශේෂ ප්‍රකාශය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාකිස්තානයේ ආරක්ෂක තත්වයට වඩා ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් බව, මෙරට එක්දින සංචිතයේ නායක ලහිරු තිරිමාන්න පවසයි.

එළඹෙන ශ්‍රී ලංකා – පාකිස්තාන සංචාරය සම්බන්ධයෙන් ඔහු කොළඹ සිට දුරකථනයෙන් බංග්ලාදේශයේ www.bdcrictime.com වෙබ් අඩවිය වෙත මෙම අදහස් දක්වා තිබේ.

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) විසින් පාකිස්තානය අපගේ කණ්ඩායම වෙත ලබා දෙන ආරක්ෂක සැලැස්ම අප වෙත ඉදිරිපත් කළා. ඒ ගැන මම ඉතාමත් සතුටු වනවා. මාගේ පවුලේ අයටද මම ඒ පිලිබඳ පැහැදිලි කළා. අපි අපගේ රට නියෝජනය කරන නිසා ඔවුන්ට කිසිදු ගැටළුවක් නැහැ,” යැයි තිරිමාන්න පැවසීය.

“ක්‍රීඩකයින් මෙම සංචාරය සඳහා කැමැත්ත පළ කළද ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් ඒ පිලිබඳ අකමැත්ත දැක්වීම ඔවුන්ගේ පෞද්ගලික කාරණයක්. අප ඒ සෑම දෙයක් ගැනම සිතා බැලිය යුතුයි. ඒ නිසා, ඔවුන්ගේ තීරණ වලට අප ගරු කළ යුතුයි.

“මම හිතන්නේ මෙම සංචාරය ක්‍රීඩකයෙකු ලෙස මට තවත් එක තරගාවලියක් විතරයි. මොකද මම දන්නවා මෙම නායකත්වය තරඟ 3 කට පමණක් සීමා වන බව. දිමුත් කරුණරත්න නායකයෙකු ලෙස ඉතා ප්‍රමුඛ කර්තව්‍යක් ඉටු කරමින් සිටින අතර, අපගේ තත්වය සහ කණ්ඩායම් සංයෝජනය කුමක් වුවත් අප උපරිමයෙන් ක්‍රීඩා කිරීමයි වැදගත් වන්නේ.

“අපට හොඳ කණ්ඩායමක් තියෙනවා. මම විශ්වාස කරන්නේ අප අපේ හැකියාවන් අනුව ක්‍රීඩා කළහොත් අපට ඉතා හොඳ තරගයක් දිය හැකි බවයි.”