FAST NEWS

24×7 Around the Globe

නිලමේ ප්‍රදීප් නිලංගගෙන් ධම්මකිත්ති නාහිමියන්ට අල්ලස්?

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවැත්වූ ඡන්දයට එරෙහිව තමන් පොලීසියට පැමිණිල්ලක් ගොනු කළ බව අවුකන රජමහා විහාරයේ විහාරාධිපති, ශාස්ත්‍රපති ධම්මකිත්ති නාහිමියන් පවසනවා. විහාරස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ සදහන් කළේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල නිලවරණය පැවැත්වීමට පෙර තමා හමුවට පැමිණ ඡන්දය ලබාදෙන ලෙස ඉල්ලමින් රුපියල් ලක්ෂ 5ක මුදලක් ලබාදීමට කටයුතු කළ බවයි.

මේ සම්බන්ධයෙන් නිළවරණය පැවැත්වෙන දින තමන් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා ද දැනුවත් කළ බවයි මාධ්‍ය හමුවට එක්වෙමින් උන්වහන්සේ වැඩිදුරටත් සදහන් කළේ.

අවුකන රජමහා විහාරයේ විහාරාධිපති, ශාස්ත්‍රපති ධම්මකිත්ති හිමියන් නගන මෙම චෝදනාව සම්බන්ධයෙන් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල පවසන්නේ තමන් මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරන බවයි.

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් චන්ද්‍රප්‍රේම ගමගේ කියා සිටින්නේ පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේ වරදක් නොමැති බවයි. තමන් සිදුකළේ ව්‍යවස්ථාවට අනුව ඡන්දය පැවැත්වීම පමණක් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

මහනුවර – ශ්‍රී දළදා මාළිගාවේ 20 වන දියවඩන නිලමේවරයා ලෙස හිටපු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල පසුගිය 8 වන දා යළි තේරී පත්වුණා. ඒ මහනුවර බෞද්ධ මන්දිරයේ පැවති ඊට අදාළ නිලවරණයේදියි. 301 දෙනෙකු මීට අදාළව ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතව තිබුණත් ඡන්දය ප්‍රකාශ කර තිබුණේ 294 දෙනෙකු පමණයි.

ඡන්ද විමසීමේදී ප්‍රදීප් නිලංග දෑල ඡන්ද 205 ක් ලබාගත් අතර හිටපු දියවඩන නිලමේවරයෙකු වන නෙරංජන් විජේරත්න ලබාගත්තේ ඡන්ද 31 පමණයි. එමෙන්ම මහනුවර ශ්‍රී නාථ දේවාලයේ බස්නායක නිළමේ ගයාන් හෂිල හීන්කෙන්ද ඡන්ද 53 ක් ලබාගත්තා.