FAST NEWS

24×7 Around the Globe

හතුරුසිංහගේ ගිවිසුම සැඟවීමට ක්‍රිකට් ආයතන ප්‍රධානින්ගේ සහය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහගේ මාසික වැටුප ජනතාවගෙන් සැඟවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානින් කීපදෙනකු කටයුතු කර තිබේ.

මෙලෙස පුහුණුකරු බඳවා ගැනීමේ ගිවිසුම සැඟවීම හේතුවෙන් පුහුණුකරු පත්කිරීම සඳහා විධායක කමිටුවේ අනුමැතිය ලබාගෙන නොමැති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් කරන ලද වෝහාරික විගණන වාර්තාව හෙළිකර ඇත.

ඒ අනුව හතුරුසිංහගේ මාසික වැටුප රුපියල් ලක්‍ෂ 80කට අධික දැවැන්ත මුදලක් ගෙවා ඇති බව එම විගණනයේදි හෙළිව තිබේ.

මෙම විගණනය සිදුකරන ලද්දේ ක්‍රීඩා ඇමැතිගේ ඉල්ලීමකට අනුව බවයි වාර්තා වන්නේ.

විගණනය වෙත ඉදිරිපත් කරන ලද තොරතුරැ අනුව 2019 ජූනි 30 දින වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වර්තමාන ප්‍රධාන පුහුණුකරු වෙනුවෙන් 2017 වර්ෂයේ රුපියල් 1,987,375ක්, 2018 වර්ෂයේදී රුපියල් 98,338,077 හා 2019 ජූනි 30 දක්වා රුපියල් 53,194,340ක් ලෙස මාස 18ක කාලයට රුපියල් 153,519,792 ගෙවා ඇතැයි විගණන වාර්තාවේ සඳහන් වේ.

ඒ අනුව හතුරුසිංහ මහතාට මාස 18 කට සේවා කාලය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් කෝටි 15 කට (රුපියල් 153,519,792) අධික මුදලක් ගෙවා තිබේ.

හතුරුසිංහ මහතාට සේවය ආරම්භ කිරීමට පෙර රුපියල් ලක්‍ෂ 20 කට ආසන්න මුදලක් ගෙවීමද මෙහිදී කැපී පෙනේ.

හතුරැසිංහ මහතා මේ දක්වා සම්පූර්ණ කළ සම්පූර්ණ වර්ෂය වන 2018 වසරේ වැටුප ලෙස රුපියල් 67,692,519 ක්, උපදේශන ගාස්තු ලෙස රුපියල් 23,399,376 ක්, ගුවන් ගමන් දීමනා ලෙස රුපියල් 3,107,244 ක්, ජංගම දුරකථන ගාස්තු ලෙස 53,693 ක්, උපවේශන දීමනා (ආහාර) ලෙස 2,886,018 ක් සහ කාර්ය සාධන දීමනා (ජයග්‍රහණය දීමනා) ලෙස 1,199,228 ක් ගෙවා තිබේ. මෙම වසරේ (2019) පළමු මාස හය තුළ හතුරුසිංහ මහතාගේ මසක සාමාන්‍ය ආදායම 8,865,723 (ලක්‍ෂ 88 කට වැඩි) කි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හතුරුසිංහ මහතා වෙනුවෙන් විගණනට ලක්වූ මාස 18 ක කාලය තුළ රුපියල් 15,537,700 ක අමතර බදු වගකීමක් දරා ඇති බව ද හෙළි වී තිබේ.

“බඳවා ගැනීමේ නියමයන්, කොන්දේසි හා පාරිශ්‍රමිකයන් වෙත නිරාවරණය වීම වැළැක්වීමට ජාතිකප්‍රධාන පුහුණුකරු බඳවාගැනීම, ඔහුගේ පාරිශ්‍රමිකයන් හා ගිවිසුම විධායක කමිටුව වෙත ඉදිරිපත් නොකරන ලද බව සහ ජාත්‍යන්තර පුහුණුකරුවකුගේ පාරිශ්‍රමිකයන් හා ප්‍රතිලාභ පිළිබඳව මාධ්‍යයට අනාවරණය වීම තුළින් ඔවුනට නැවත වෙනත් රටක පුහුණුකරු ලෙස ඉල්ලුම් කිරීමේදී තමා වෙනුවෙන් වටිනාකම තීරණය කර පාරිශ්‍රමිකයන් ඉල්ලුම් කිරීමට එය බාධාවක් වන බව” ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා විගණනයේදී ප්‍රකාශ කර තිබේ.

ඇෂ්ලි ද සිල්වා මහතා විගණනයේදී පහත විශේෂ කරුණුද හෙළිකර තිබේ.

“පුහුණුකරුවකු වෙත ගෙවන පාරිශ්‍රමිකයන් තීරණය කිරීම වෙළෙඳපොළ වටිනාකම අනුව තීරණය වන බව සහ වර්තමානය වනවිට ජාත්‍යන්තර වටිනාකමක් සහිත පුහුණුකරුවකුගේ වටිනාකම ඇමරිකානු ඩොලර් 20,000 හා ඇමරිකානු ඩොලර් 25,000 වන බව”

“උපුල් චන්දික හතුරුසිංහ ශ්‍රී ලාංකිකයෙකු වුවත් ඔහුට ඕස්ට්‍රේලියාවේ ස්ථිර වාසිකත්වය (Permanent Resident) තිබීමත් ඔහු හා පවුලේ සියලු දෙනා එහි ජීවත්වීමත් නිසා ඔහු නිර්වාසිකයකු ලෙස සලකන ලද හෙයින් ඇමරිකානු ඩොලර්වලින් ගෙවීමට ඔහු සමඟ කරන ලද සාකච්ඡා අනුව තීරණය වී ඇති බව”

දැඩි විවාදයට තුඩුදී තිබෙන හතුරුසිංහ මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර සේවා ගිවිසුමේ පහත සඳහන් විශේෂ කරුණු ද ඇතුළත්ව ඇති බව වෝහාරික විගණන වාර්තාවේ සඳහන් වේ.

• ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් උපුල් චන්දික හතුරුසිංහ සමඟ 2018 ජනවාරි 01 වන දින සිට 2020 දෙසැම්බර් 31 දින දක්වා 2018 ජනවාරි 01 දිනෙන් පටන් ගන්නා මාස 36 සඳහා වූ සේවා නියුක්තකරවීමේ (කොන්ත්‍රාත් පදනම) ස්ථාවර වගන්ති සහිත ගිවිසුමට (Fixed term Contract – National Head Coach) එළඹ තිබුණි.

• ගිවිසුමේ 02(a) වගන්තිය ප්‍රකාරව ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වෙත මාසික වැටුප ඇමරිකානු ඩොලර් 20,000 ක් ලෙස මාස 36ක් සඳහා ඇමරිකානු ඩොලර් 720,000 කට හිමිකම් ලබාදී තිබුණ අතර බදු හා අනෙකුත් ව්‍යවස්ථාපිත අඩුකිරීම් ලෙස මසකට 16% ක උපරිමයක් අඩු කිරීමට යටත්ව සෑම මසකම 25 දිනට හෝ ඊට පෙර වවුචර් ගෙවීමට එකඟ වී තිබුණි. තවද අනාගතයේදී ශ්‍රී ලංකාවේ නීති හා රෙගුලාසි වෙනස්වීම් මත බදු වගකීම ඉහළ ගියහොත් එලෙස වැටුපෙන් 16% ඉක්මවා යන බදු ප්‍රමාණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දරන බවටත් ඒ අනුව මසකට අවම වශයෙන් අමරිකානු ඩොලර් 16,800ක් වැටුප් ලෙස ලැබෙන බවටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රධාන පුහුණුකරු වෙත ගිවිසුමට අනුව එකඟ වී තිබුණි.

• ගිවිසුමේ 02(b) ජේදය ප්‍රකාරව මාසිකව ජීවන වියදම් දීමනාව (Living allowances) ලෙස ඇමරිකානු ඩොලර් 10,000 ක් ගෙවීමට එකඟ වී තිබුණි.

• ගිවිසුමේ 02(c) ජේදය ප්‍රකාරව Repositioning/Strategic planning/consultancy fee ලෙස අර්ධ වාර්ෂිකව ඇමරිකානු ඩොලර් 60,000 බැගින් වසරකට අමරිකානු ඩොලර් 120,000 ක මුදලක් 2018 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා වූ සෑම වර්ෂයකම ජනවාරි සහ ජූලි මාසයේ පළමු සතිය තුළ ගෙවීමට ගිවිසුම් ගත වී තිබුණි. එසේම මෙම ගෙවීම බදු රහිත අගයක් වන බවද දක්වා තිබුණි.

• පුහුණුකරුට, ඔහුගේ කාලාත‍්‍රයාට/ සහකරුට/ ළඟම පවුලේ සාමාජිකයන්ට ගුවන් ගමන් වියදම් බිල්පත් ප‍්‍රතිපූරණය සඳහා වසරකට ඇමරිකානු ඩොලර් 20,000ක (ඉදිරි වසර සඳහා ගෙන යා නොහැකි) දීමනාවකට හිමිකම.

• ගිවිසුමේ 10(d) ඡේදය අනුව ගිවිසුමේ 10(b) හෝ 10(c) ඡේද ප්‍රකාරව හෝ කවර හේතුවක් මත හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඒකපාර්ශවිකව ගිවිසුම අවසාන කරන්නේ නම් පුහුණුකරැ සඳහා වසරක වැටුප් හෝ ගිවිසුමේ ඉතිරි කාලය සඳහා වැටුප් හෝ යන අගයන් දෙකෙන් වඩා අඩු අගය ගෙවිය යුතුය.

ශම්මි සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව, ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීමකට අනුව මේ වනවිට හතුරැසිංහ මහතා ජාතික කණ්ඩායමේ පුහුණුකරු ධූරයෙන් ඉවත්කර තිබුණද ඔහුට තවමත් ඉහත ගිවිසුමට අනුව දැවැන්ත වැටුප හිමිවේ.