FAST NEWS

24×7 Around the Globe

ලංකා කණ්ඩායම පරාජයෙන් ගැලවීමේ සටනක

(ෆාස්ට් නිවුස් | කොළඹ) -විසඳුමක් පෙනෙන තෙක් මානයක නොතිබූ දෙවැනි ටෙස්ට් තරගයේදී තමන්ගේ පහර පාලනය කරගැනීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ කුසල් ජනිත් පෙරේරා සහ ළහිරු තිරිමාන්න අපොහොසත් වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායම නොසිතූ අමාරුවක වැටී සිටී.

ඉලක්කයක් කරා යාමට සිදු නොවූවත්, ටෙස්ට් තරගයක අවසන් දිනයේ කඩුලු රැකගැනීම අභියෝගයක්ව තිබූ අවස්ථාවකදී මෙම පිතිකරුවන් දෙදෙනාම ලකුණු නොලබා දැවී යාම හේතුවෙන් දෙවැනි ටෙස්ට් තරගයේදී පරාජයෙන් ගැලවීමේ සටනක නිරත වීමට ශ්‍රී ලංකා පිලට සිදුව තිබේ.

කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පරාජයෙන් ගැලවීමට නම් අද දිනයේ ඕවර 91 ක් තුළ කඩුලු රැකගැනීම හෝ ලකුණු 187 කට වැඩියෙන් ලබාගැනීම කළ යුතුව තිබිණ. එහෙත් අද දින දිවා ආහාරය වන විට ලකුණු 33 කට කඩුලු 5 ක් ඇද වැටීම නිසා පරාජයෙන් ගැලවීමට නම් ඉතිරි ඕවර 68 තුළ කඩුලු 5 ක් රැකගැනීම හෝ තවත් ලකුණු 154 කට වැඩියෙන් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබේ.

දෙවැනි ඉනිමේදී ශ්‍රී ලංකා පිතිකරුවෝ එකා පසුපස එකා දැවී ගියහ. ළහිරු තිරිමාන්න (0), කුසල් ජනිත් පෙරේරා (0), කුසල් මෙන්ඩිස් (20), ඇන්ජලෝ මැතිව්ස් (7) සහ ධනංජය ද සිල්වා (1) යන පස්දෙනාටම ලබාගත හැකිවූයේ ලකුණු 28 ක් පමණි.