දිමුත් හොඳම පිතිකරුවන් 10 අතරට පැමිණීම ගැන කෙන් විලියම්සන් කියයි

දිමුත් හොඳම පිතිකරුවන් 10 අතරට පැමිණීම ගැන කෙන් විලියම්සන් කියයි

(ෆාස්ට් නිව්ස්|කොළඹ) – ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති ටෙස්ට් ක‍්‍රිකට් තරගයේදී ශ‍්‍රී ලංකාව පිති ප‍්‍රහාරය දුන් ආකාරයට සියලූම ගෞරවය ශ්‍රී ලංකාවට හිමිවිය යුතු බවට නවසීලන්ත නායක කෙන් විලියම්සන් පවසයි.

“එහිදී දිමුත් කරුණාරත්න ලබාගත් ශතකය ප‍්‍රශංසාවට ලක්විය යුතුයි. ඔහු ක්‍රීඩා කළ විලාශය අති විශිෂ්ඨයි,” යැයි විලියම්සන් අවධාරණය කළේය.

පළවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ‍්‍රී ලංකාව ක‍්‍රීඩා කළ විලාශයෙන් තම කණ්ඩායමට පාඩම් කිහිපයක්ම ඉගෙන ගැනීමට ඇති බවත් දෙවැනි ටෙස්ට් තරගය ජය ගනිමින් තරගාවලිය සම කිරීමට එම පාඩම් ඉතාමත් වැදගත් බවත් නවසීලන්ත නායකයා පවසයි.

“මීට වසර කිහිපයකට පෙර අපි ශ‍්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී ප‍්‍රබල ශ‍්‍රී ලංකා පිලට එරෙහිව තරගාවලිය 1-1 ක් වශයෙන් සම කරන්න සමත් වුණා. ඒ නිසා අපිට ඊළඟ තරගයේදී යළිත් නැගී සිටින්නට හැකියාවක් තියෙනවා. විශේෂයෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායම ක‍්‍රීඩා කරපු ආකාරය අනුව අපිටත් පාඩම් කිහිපයක් ඔවුන්ගෙන් ඉගෙන ගන්නට තියෙනවා. අපිට හොඳ අත්දැකීම් තිබුණත් සමහර තැන්වල අපි හොඳට ක්‍රීඩා කළේ නැහැ,’’ යැයි ඔහු වැඩි දුරටත් පැවසීය.

මේ අතර, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ප්‍රකාශයට පත් කරන ලද ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ පළමු පිතිකරුවන් 10 අතර ඉඩක් වෙන් කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න සමත්වී තිබේ. නවසීලන්තයට එරෙහිව ගාල්ලේදී පැවැති තරගයේදී පිතිකරුවකු ලෙසින් දක්වන ලද දක්ෂතා මත එම ශ්‍රේණිගත කිරීමේ 8 වැනි ස්ථානය දක්වා පැමිණීමට දිමුත්ට අවස්ථාව උදා වී ඇත.

නවසීලන්තය සමඟ ගාල්ලේ පැවැති තරගයේදී පළමු ඉනිමේදී ලකුණු 39 ක් රැස් කළ දිමුත්, දෙවැනි ඉනිමේදී ලකුණු 122 ක් රැස් කරමින් කඩුලු 6 ක වාර්තාගත ජයග්‍රහණයක් කරා ශ්‍රී ලංකා පිල රැගෙන ගියේය. මෙම තරගයට පෙර ප්‍රසාද ලකුණු 676 ක් ලබා එම ශ්‍රේණිගත කිරීමෙහි 13 වැනි ස්ථානයේ රැදී සිටි දිමුත්, අවසන් ටෙස්ට් තරගයේ දක්වන ලද දක්ෂතාවයත් සමඟ ඔහුගේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 716 දක්වා ඉහළ ගොස් තිබේ.

කෙසේ වෙතත් දිමුත් අදාළ ශ්‍රේණිගත කිරීමෙහි පළමු ස්ථානය 10 ට අතරට පැමිණි පළමු අවස්ථාව මෙය නොවන අතර මීට පෙර ඔහු 7 වැනි ස්ථානයේ රැඳී සිට ඇත.