FAST NEWS

24×7 Around the Globe

තරග අසාර්ථකත්වයට බලපෑ හේතු මැතිව්ස් කියයි

(ෆාස්ට් නිව්ස්|කොළඹ) – ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රදර්ශනය කළ දැඩි අසාර්ථකත්වයට පසුගිය කාලයේ සිදුවූ අතපසුවීම් බලපෑ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.

නවසීලන්තයට එරෙහිව ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට පෙර පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් මැතිව්ස් මෙසේ අදහස් දැක්වීය.

“ස්ථාවරත්වය කියන එක අනිවාර්යෙන්ම ඕනම කණ්ඩායමකට බලපානවා. ලෝක කුසලානයෙන් පසුව උනත් හොඳට කරපු රටවල් ඔක්කොම 20 ක් 25 ක් තෝරගෙන අවුරුදු 4 ම ක්‍රීඩා කළා.

“එහෙම නොවුණම ඒ කණ්ඩායම ස්ථාවර වෙන්නේ නෑනේ. අද ගහන කණ්ඩායම හෙට ගහන්නෙ නැත්නම්. හෙට ගහන කණ්ඩායම අනිද්දා ගහන්නේ නැත්නම් කණ්ඩායමක් කොහොද ස්ථාවර වෙන්නේ. එතනින් තමයි අපි ආරම්භ කළ යුත්තේ. 2017 වසරේ මම ඉවත්වීමෙන් පසුව නායකයොම 6 ක් විතර හිටියා. ඒ දේවල් තමයි බලපාන්නේ. ඒවා රහස් නොවයි හැමෝම දන්න දේවල්,” යැයි මැතිව්ස් පවසා තිබේ.

“අනිවාර්යෙන්ම ඉදිරියට යන්න මේ දේවල් හදාගත යුතුයි. මම විශ්වාස කරනවා ඒ දේවල් වෙයි කියලා. වර්තමාන එක්දින කණ්ඩායම ගත්තොත් ඒ සියලුම දෙනාට ඊළඟ ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන්න පුළුවන්. 25 ක සංචිතයක් තෝරාගෙන වසර 3 ක් 4 ක් ක්‍රීඩා කළා නම් සාර්ථක වෙනවා. පොඞ්ඩක් ඉවසලා අපි ඒ දේවල්වලින් ඉදිරියට ගියා නම් අනිවාර්යෙන්ම අපිට හොඳ කණ්ඩායමක් ඉදිරියේදී හදාගන්න පුඵවන්,” බවයි මැතිව්ස් මෙම සම්මුඛ සාකච්ඡාවේදි වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ.