FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නුවන් කුලසේකරට පණිවිඩයක්

(ෆාස්ට් නිව්ස්|කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔවුන්ගේ නිල ට්විටර් ගිණුම හරහා මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට දැක්වූ දායකත්වය වෙනුවෙන් හිටපු වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර වෙත උපහාර දක්වා තිබේ.

“නුවන් කුලසේකර උපහාර උළෙලහි ඡායාරූප කිහිපයක් #ස්තුතියිකුලේ (#ThankYouKule),” යනුවෙන් සටහනක් ශ්‍රී ලංකා ක්‍රිකට් නිල ට්විටර් ගිණුමේ ඊයේ (01) පල කර ඇත.

2003 වසරේ සිට 2017 වසර දක්වා වසර 14ක් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ රැඳී සිටි නුවන් කුලසේකර එක්දින තරග 184කදී කඩුලු 199ක් බිඳ හෙළා තිබේ.

ඔහු පිතිකරුවෙකු ලෙස ද දක්ෂතා දක්වමින් එක්දින ක්‍රිකට් තරගවලදී අර්ධ ශතක 4ක් ද වාර්තා කර ඇත.

එක්දින තරගවලදී ඔහුගේ හොඳ ම පන්දු යැවීම සටහන් වන්නේ, ලකුණු 22කට කඩුලු 5ක් ලෙසය.

ටෙස්ට් ක්‍රිකට් තරග 21කදී කඩුලු 48ක් බිඳ හෙළා ඇති ඔහු පන්දු වාර 20 තරග 58කදී බිඳ හෙළූ කඩුලු සංඛ්‍යාව 66කි.

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට තෝරා ගැනුණු ශ්‍රී ලංකා සංචිතයට නුවන් කුලසේකර ඇතුළත් නොකළේ මන්දැයි මාධ්‍යවේදීන් කළ විමසුමකට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් ප්‍රශ්න කළේ, “ඔහු දැන් ක්‍රිකට් ගහනවා ද?” යනුවෙනි.

එම ප්‍රකාශය හේතුවෙන් නුවන් කුලසේකර සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල දැඩි කතාබහක් ද ඇති විය.