ඩේව් වට්මෝර් නැවත කැඳවයි

ඩේව් වට්මෝර් නැවත කැඳවයි

 

(ෆාස්ට් ගොසිප් – කොළඹ) –  ශ්‍රී ලංකාවට එක්දින ලෝක කුසලානය දිනා දුන් කණ්ඩායමේ පුහුණුකරු වන ඩේව් වට්මෝර් මහතා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පුහුණු උපදේශකයෙකු ලෙස නැවත සේවයට පැමිණීමට කැමැත්ත පළකර ඇති බව වාර්තා වේ.

එංගලන්තයේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ඒ මහතාගේ පත්වීම ස්ථිර වීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වේ.

ඒ මහතා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පහළ මට්ටමේ සිට ජාතික කණ්ඩායම දක්වා අධීක්‍ෂණය සඳහා පත් කිරීමට නියමිතය.

ඒ අනුව වට්මෝර් මහතා වයස 15 න් පහළ සිට වයස 19න් පහළ දක්වා ජාතික කණ්ඩායම්, සංවර්ධන, නැගී එන සහ ශ‍්‍රී ලංකා ‘ඒ’ යන සංචිත සහ ජාතික සංචිතය අධීක්‍ෂණය කිරීමට නියමිතය.

ඊට අමතරව ඒ මහතාට පළාත් ක‍්‍රිකට් පැවරීමටද නියමිත බව වාර්තා වේ.

වට්මෝර් මහතා මේ වනවිටත් උපදේශක තනතුර භාරගැනීමට කැමැත්ත පළකර තිබෙන බවත්, ඊට සම්බන්ධ වෙනත් කරුණු සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග කියයි.

වට්මෝර් මහතා උපදේශක තනතුරට පත්වුවහොත් අසංක ගුරුසිංහ මහතා මේ වනවිට ආවරණය කරන පුහුණු කටයුතුවලට සම්බන්ධ සේවා රැසක් ඔහුගෙන් ඉවත් වනු ඇති බවද පැවසේ.

CATEGORIES