මීළග ජනපතිවරණයට වඩාත් සුදුසු ලොකු තාත්තට වඩා ගෝඨා බාප්පයි – රෝහිත

මීළග ජනපතිවරණයට වඩාත් සුදුසු ලොකු තාත්තට වඩා ගෝඨා බාප්පයි – රෝහිත

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එළැඹෙන ජනාධිපතිවරයා රාජපක්‍ෂවරයෙක් නම් ඒ සදහා වැඩුපුරම සුදුසු යුත්තේ තම බාප්පා වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේය.

චමල් රාජපක්ෂ මහතාටද ජනාධිපති තනතුර සඳහා සුදුසුකම් හා අත්දැකීම් තිබුනත් ඔහු දැඩි සෘජු තීරණ ගැනීමට පෙළඹන අයෙකු නොවන බවත්, ඉතාමත් නිහතමානී අන් අයගේ අදහස්වලට ගරු තරන පුද්ගලයෙක් බවත් ඔහුගේ අදහසයි.

ලංකාව පාලනය කිරීම සඳහා ඒකාධිපතියෙක් පාලකයෙක් අවශ්‍ය නොවුනත් එවැනි සෟජු තීරණ ගත හැකි ඒකාධිපති ගුණාංග තිබෙන පුද්ගලයෙක් අනිවාර්යෙන්ම අවශ්‍ය බවත් නැතිනම් රටක් වශයෙන් විශාල ගැටළුවලට මුහුණ දීමට සිදුවන බව රෝහිත රාජපක්ෂ එහිදී පැවසීය.

2020 මැතිවරණය ඉතාමත් තීරණාත්මක මැතිවරණය වන බවත් , චමල් රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා අතරින් ජනාධිපති තනතුර සඳහා වඩාත්ම සුදුස්සා වන්නේ ගෝඨාභය රාජපක්ෂ බවත් ඔහු පෙන්වා දුන්නේය.

මහින්ද රාජපක්‍ෂ මහතාට ලැබෙන ඡන්දය ප‍්‍රමාණයට අමතරව මෙරට තරුණ ප්‍රජාව විශේෂයෙන් පාවෙන ඡන්ද දායකයා ආකර්ෂණය කර ගත හැක්කේ ගෝඨාභය රාජපක්ෂ මහතාට බවද ඔහු කියා සිටියේය.

මහින්ද රාජක්ෂ මහතා විසින් නම් කරන ඕනෑම පුද්ගලයකුට සැලකිය යුතු ඡන්ද ප‍්‍රමාණයක් ලැබුනද එමගින් ජනාධිපති වීමේ හැකියාවක් නැති බවද කී ඔහු එවන් ඕනෑම පුද්ගලයෙකුට ජනාධිපති වීමට අත්‍යවශ්‍ය පාවෙන ඡන්දදායකයන්, තරුණ ඡන්ද ආකර්ෂණය කරගත නොහැකි බවද සඳහන් කළේය.

එම හැකියාව මේ වන විට වැඩි වශයෙන්ම ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාට බවත් තමන් පෞද්ගලිකව ඔහු ජනාධිපතිවරයා වනු දැකීමට කැමති බවත් රෝහිත රාජපක්‍ෂ මහතා පැවසීය.

එමෙන්ම තමන් අද වන තෙක් කිසිදු පක්ෂයක සාමාජිකත්වයක් ගෙන නොමැති බවත් , තම පියාගේ හා සහෝදරයන්ගේ දේශපාලනමය කටයුතු සදහා පිටුපසින් සිට හැකි අයුරින් සහයෝගය ලබාදෙන බවත් අනාගතයේදී හෝ කිසිදිනක තමන් දේශපානයට අවතීර්ණ නොවන බවත් රෝහිත රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේය.

CATEGORIES