FAST NEWS

24×7 Around the Globe

ත්‍රස්ත ප්‍රහාරයේ සත්‍යය රජය වසන් කරනවා – අගරදගුරු හිමි (video)

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඊයේ (20) වතිකානුවේදී ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බැහැදුටුවේය.

පසුගිය අප්‍රේල් 21 වනදා පුද්ගලයන් 250 කට අධික පිරිසක් ඝාතනයට ලක්වූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබී තිබු බුද්ධි අංශ වාර්තා සැලකිල්ලට නොගැනීම “පූර්ණ උනන්දුවක් නොමැතිකම” මත සිදු වූවක් බව අගරදගුරු අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වහන්සේ වතිකානුවේදී ප්‍රකාශ කර තිබේ.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් රජය ගත් ක්‍රියාමාර්ග පිළිබඳ සෑහීමට පත්විය නොහැකි බවත් එහිදී උන්වහන්සේ අවධාරණය කර ඇත.

කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වතිකානුවේදී අතිඋතුම් ශුද්ධ වූ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ බැහැ දැකීමට පැය කිහිපයකට පෙර රොයිටර් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කර සිටියේය.

කමිටු රැසක් හරහා දැන් සිදුකෙරෙන පරීක්ෂණවලින් වගකීම එකිනෙකාට පැවරීමට උත්සාහ කෙරෙන බවත් පාස්කු ප්‍රහාරයේ සත්‍යය රජය වසන් කරන බවත් කාදිනල් හිමිපාණන් එහිදී අවධාරණය කළේය.

එම තොරතුරු සැලකිල්ලට ගෙන තමා දැනුවත් කළේ නම් පාස්කු ඉරිදා දිනයේ දේවස්ථාන වසා බැතිමතුන් නිවෙස්වලට යවා ප්‍රහාරයේ හානිය වැළැක්වීමට තිබූ බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සදහන් කර සිටියේය.