FAST NEWS

24×7 Around the Globe

අගමැති ප්‍රමුඛත්වයෙන් කැබිනට්ටුව රැස් වුවහොත් අගමැති ඉවත් කළ හැකි ක්‍රමය මෙන්න

 

(ෆාස්ට් ගොසිප් – කොළඹ) – ජනාධිපතිවරයාගේ තීරණය අභියෝගයට ලක්කරමින් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස්වුවහොත් නීතිය අනුව අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉවත් කර නව අග්‍රාමාත්‍යවරයකු පත්කිරීමේ බලය ජනාධිපතිවරයාට තිබෙන බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා දිනපතා ප්‍රවෘත්ති පත්‍රයකට සඳහන් කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 (1) වගන්තිය අනුව විධායකයේ ප්‍රධානියා, රජයේ ප්‍රධානියා, ආණ්ඩුවේ ප්‍රධානියා සහ සන්නද්ධ සේනාවල ප්‍රධානියා වන්නේ ජනාධිපතිවරයායි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 (2) වගන්තිය යටතේ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වන්නේ ජනාධිපතිවරයාම බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා පෙන්වා දෙයි.

එම වගන්තිය අනුව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේද සාමාජිකයකු විය යුතුයි.

කැබිනට් මණ්ඩලය නොපැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කළ හැකි වුවද කැබිනට් මණ්ඩලය රැස්කරන ලෙසට ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ යෝජනාවක් මඟින් කිසිදු ආකාරයකින් බලපෑම් කළ නොහැකි බවද හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා පෙන්වා දෙයි.

ජනාධිපතිවරයාගේ තීරණයට එරෙහි වෙමින් අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස්වුවහොත් නීතිය අනුව එම කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගනු ලබන සියලු තීන්දු නීති විරෝධී වන බවත් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට එම තීරණ නොපිළිගන්නා ලෙසට රටට ප්‍රකාශයක් සිදුකිරීමට හැකි බවත් හිටපු අගවිනිසුරුවරයා පෙන්වා දෙයි.ජනාධිපතිවරයා නොමැති අවස්ථාවක ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන වැඩබලන ජනාධිපතිවරයකුට කැබිනට් මණ්ඩලය රැස්කිරීමට හැකි බවද හිටපු අගවිනිසුරුවරයා සඳහන් කරයි.

එවැනි වැඩබලන ජනාධිපතිවරයකු පත්කළේ එකම එක අවස්ථාවකදී පමණක් බවත් වරක් එවකට ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් එවකට අග්‍රාමාත්‍යවරයාව සිටි රත්නසිරි වික්‍රමනායක මහතා වැඩබලන ජනාධිපති ලෙස පත් කළ බවත් ඒ මහතා දිවුරුම් දුන්නේ එවකට අගවිනිසුරු ලෙස ක්‍රියා කළ තමා ඉදිරියේදී බවත් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.