“ඇමතිවරුන් පත් කිරිම ව්‍යවස්ථාවට පටහැනියි” අගමැතිගෙන් ජනපතිට ලිපියක්

“ඇමතිවරුන් පත් කිරිම ව්‍යවස්ථාවට පටහැනියි” අගමැතිගෙන් ජනපතිට ලිපියක්

 

(ෆාස්ට් ගොසිප්- කොළඹ)  – මුස්ලිම් ඇමැතිවරුන්ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ අමාත්‍යාංශ තුනකට වැඩබලන ඇමැතිවරුන් තිදෙනෙකු පත්කිරීම ව්‍යවස්ථාවට පටහැනි බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පෙරේදා (11) දිනයේ ලිපියක් යවමින් දැනුම් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.

එම අමාත්‍යාංශවල වැඩබැලීමට පත්කරන ලෙස ඉල්ලමින් රාජිත සේනාරත්න මලික් සමරවික්‍රම සහ රංජිත් මද්දුම බණ්ඩාර යන ඇමැතිවරුන්ගේ නම් එක්සත් ජාතික පක්ෂය විසින් ජනාධිපතිවරයා වෙත පසුගියදිනක යවනු ලැබු බව වාර්තා විය.

කෙසේ වෙතත් එම නම් ප්‍රතික්ෂේප කරමින් ජනාධිපතිවරයා පුරප්පාඩු වී ඇති අමාත්‍යාංශවල රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් එහි වැඩබලන ඇමැතිවරුන් ලෙස පසුගය 10 වැනිදා පත් කළේය.

ඒ අනුව ලකී ජයවර්ධන මහතා නගර සැලසුම් ජල සම්පාදන හා උසස් අධ්‍යාපන වැඩබලන ඇමැති වශයෙන්ද , අනෝමා ගමගේ මහත්මිය මහාමාර්ග ,මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන වැඩබලන ඇමැති වශයෙන්ද , බුද්ධික පතිරණ මහතා කර්මාන්ත හා වාණිජ ,දිගු කාලීන අවතැන්වූවන් නැවත පදිංචි කිරීම, සමූපාකාර සංවර්ධන හා වෘත්තිය පුහුණු වැඩබලන ඇමැති වශයෙන්ද ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූහ.

කැබිනට් ඇමැතිවරුන් ඉල්ලා අස්වී තිබියදී ඒවාට වැඩබලන ඇමැතිවරුන් පත්කළ නොහැකි බවත් එය 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව ව්‍යවස්ථාවට පටහැනි බවත් අගමැතිවරයා සිය ලිපිය මගින් පෙන්වා දී ඇති බවද පැවැසේ.