FAST NEWS

24×7 Around the Globe

මැතිව්ස්ට පිළිතුරු දෙමීන් සිදුවු වරද මහේල හෙළි කරයි..

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  පසුගිය මාස 12 තුළ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම හොඳින් ක‍්‍රීඩා නොකළත් මෙවර එක්දින ලෝක කුසලාන තරඟාවලියේදී තියුණු තරඟයක් දිය හැකි බව ශ‍්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන පවසයි.

නව නායකයෙක් සහ නව මුහුණු කිහිපයක් කණ්ඩායමට ඇතුළත්ව සිටියත් ලෝක කුසලාන තරඟාවලියන්හිදී ශ‍්‍රී ලංකා පිළ හොඳින් ක‍්‍රීඩා කිරීම පුරුද්දක් කරගෙන ඇති බව ඔහ මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.

එංගලන්තයේ දේශගුණයෙන් වාසි ලබා ගත හැකි පන්දු යවන්නන් කිහිප දෙනෙකුම ශ‍්‍රී ලංකා කණ්ඩායම සතු නිසා ඔවුන් හොඳින් පන්දු යැව්වොත් තරඟ ජයග‍්‍රහණය කිරීම අපහසු නොවන බවත් හෙතෙම කියා ඇත.

“අපේ මුල් පිතිකරුවන් හය දෙනා ඕවර 40ක් විකට්ටුවේ රැඳි සිටිමින් හොඳ ආරම්භයක් ලබා දුන්නොත් අපිට විශාල ලකුණු ප‍්‍රමාණයක් රැස් කර ගන්න පුළුවන් වෙනවා. අනෙක් කණ්ඩායම් වල එක් පිතිකරුවෙක් හෝ ශතකයක් ලබා ගන්නවා. අපේ කණ්ඩායමෙත් දිමුත්, ඇන්ජලෝ, කුසල් වගේ ශතකයක් ලබා ගත හැකි ක‍්‍රීඩකයන් සිටිනවා. තරඟාවලිය මුලදීම අපිට ජයග‍්‍රාහී මාවතට පිවිසෙන්න හැකි වුණොත් අපේ කණ් ඩායම හොඳ තරඟයක් දේවි ”

පසුගියදා කළ සම්මුඛ සාකච්ඡාවකදී ඔබ ඇන්ජලෝ මැතිව්ස් පිළිබඳව යමක් පැවුවාදැයි මාධ්‍ය නැගු පැනයට පිළිතුරු දුන් මහේල කියා ඇත්තේ මැතිව්ස් මුල් කරගෙන කිසිවක් පැවසූ නැති බවත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ බිඳ වැටීමට මැතිව්ස් ඇතුළු හිටපු නායකයින්ද වගකිව යුතු බවය.

“මම පොදුවේ සඳහන් කළේ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සම්මුතිය පිළිබඳවයි. විශේෂයෙන්ම වසර තුනකට පෙර මැතිව්ස්ගේ නායකත්වය යටතේ තිබූ කණ්ඩායම වැරදීම් ගොඩක් සිදු කළා. ඒකයි අපි අද මේ තත්ත්වයේ ඉන්නේ. එසේම පසුගිය වසර තුන තුළ නායකයින් හතර පස්දෙනෙක්ම ජාතික කණ්ඩායම මෙහෙයුවා. ක‍්‍රීඩකයින් 55 දෙනෙක් උපයෝගී කර ගත්තා. ස්ථීර පැවැත්මක් තිබුණේ නැහැ. ඒ පිළිබඳව වගකීම ගත යුත්තන් වගකීම ගත යුතුයි”