FAST NEWS

24×7 Around the Globe

සාර්ථක වු උපක්‍රමය හා පරාජයේ වගකීම ගැන මාලිංග කියයි..

(ෆාස්ට් ගොසිප් – කොළඹ) විස්සයි – 20 තරගයකදී ලකුණු 130 ක් යනු අභියෝගයක් එල්ල කළ හැකි ලකුණු සංඛ්‍යාවක් නොවුණද දඟ පන්දු යවන්නන් දෙදෙනකු යොදා ගැනීමේ උපක්‍රමය සාර්ථක වු බව ශ්‍රී ලංකා විස්සයි – 20 නායක ලසිත් මාලිංග දකුණූ අප්‍රිකාව සමඟ පැවති පළමු විස්සයි – 20 තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමීන් සඳහන් කර තිබේ.

“විස්සයි-20 තරග ඉතාමත් සිත් ගන්නා සුලු තරග රටාවක්. ඒ වගේම මෙය හොඳ තරගයක් ලෙස මා දකින අතරම විස්සයි – 20 තරගයක තිබිය යුතු සියලු ගුණාංග එහි අන්තර්ගත වූ බව බව මා සිතනවා. නමුත් විස්සයි-20 තරගයකදී ලකුණු 130ක් යනු අභියෝගයක් එල්ල කළ හැකි ලකුණු සංඛ්‍යාවක් නොවුණද දඟ පන්දු යවන්නන් දෙදෙනකු යොදා ගැනීමේ උපක්‍රමය සාර්ථක වුණා. අපි කණ්ඩායමක් වශයෙන් අපට හැකි උපරිම අයුරින් ක්‍රීඩා කළත් අවාසනාවන්ත ලෙස අවසානයේ අපට ජයග්‍රහණය ලබා ගැනීමේ අවස්ථාව අහිමි වුණා. කෙසේ වෙතත් කණ්ඩායමේ සියලු දෙනා ක්‍රීඩා කළ ආකාරය සම්බන්ධයෙන් මම සතුටට පත් වෙනවා.”

එසේම පරාජය සම්බන්ධයෙන් කිසිම ක්‍රීඩකයෙක්ට චෝදනා කළ නොහැකි බවත් සියළුම ක්‍රීඩකයින්ට පීඩනය එක දැනුණූ බව හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

“මෙම පරාජය සම්බන්ධයෙන් කිසිම ක්‍රීඩකයකුට චෝදනා කළ නොහැකියි. කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන්ට පීඩනය දැඩිව දැනුණා. එමඟින් තරුණ ක්‍රීඩකයන්ට මෙවැනි තත්ත්වයන් යටතේ ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් හොඳ අත්දැකීමක් ලැබුණු බව මා සිතනවා. මෙම තරගයෙන් ඔවුන් බොහෝ දේ උගත් බව මගේ විශ්වාසයයි. මම මෙවැනි තත්ත්වයන් සහ අවස්ථාවන් සඳහා හොඳින් පුහුණු වී තිබුණත් මා දැන් ටිකක් වයසයි. සුපිරි පන්දුවාරයේදීත් විවිධත්වයක් සහිතව පන්දු යැවීමට මා උත්සාහ කළත් එම අවස්ථාවේදී එම උපක්‍රමය සාර්ථක වූයේ නැහැ. එහිදී ඩේවිඩ් මිලර් ඉතාමත් හොඳින් පන්දුවට පහරදුන්නා. මෙවැනි කෙටි ආකෘතියේ තරගයකදී පන්දු යැවීමේ විවිධත්වය, අවස්ථානුකූලව ක්‍රීඩා කිරීම, ආත්ම විශ්වාසය සහ ඉවසීම සම්බන්ධයෙන් නවක පන්දු යවන්නන්ට ඉගෙන ගැනීමට බොහෝ දේ තිබෙනවා. මම සෑම විටම විශ්වාස කරන දෙයක් තමයි ඕනෑම ක්‍රීඩකයකුට යම් අවස්ථාවකදී විශේෂ දෙයක් සිදුකළ හැකි බව.වරක් මම පන්දු 04 කදී කඩුලු 4ක් ලබා ගත්තා. එවැනි විශේෂ දෙයක් ඕනෑම ක්‍රීඩකයකුගේ අතින් අප කිසිවකුත් නොසිතන අවස්ථාවක සිදුවිය හැකියි.”