ගාල්ල දිස්ත්‍රික්කයෙන් ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ ජනප්‍රිය නිළි ගීතා කුමාරසිංහ මහත්මිය ස්විට්සර්ලන්තයේද පුරවැසිකම ලබා ඇති හෙයින් ඇයට මන්ත්‍රී ධූරයෙහි දිවුරුම් දීමට නොහැකි වෙතියි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිඥවරු කියති.
පසුගිය මැතිවරණයේදී ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඇය 63955 මනාප ඡන්ද ලබා තේරී පත්වූවාය.
අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එන්.මොහොමඩ් මහතා පවසනුයේ කුමාරසිංහ මහත්මිය නාමයෝජනා බාර දෙන අවස්ථාවේ බලපැවැත්වූ නීතිය අනුව එම ප්රශ්නය මතු කළත් ඇගේ නාම යෝජනාව අවලංගු කළ නොහැකි බවයි. නාම යෝජනා අවලංගු කැරෙනුයේ කරුණු හතරක් මත බවත් මොහොමඩ් මහතා කියයි. එනම්, නාම යෝජනා ලැයිස්තුවේ අපේක්ෂකයා අත්සන් කර නොමැති වීම, පක්ෂ ලේකම් අත්සන් කර නොමැති වීම, අවශ්‍ය ප්‍රමාණයේ අපේක්ෂකයන් නොමැති වීම හා දිවුරුම් දී නොමැති වීම යන කරුණු මතයි.
ශ්‍රී ලංකාවේ දැනට බලපවත්වන 1981 මැතිවරණ පනතෙන් ඇයට හෝ වෙනත් අයකුට නාම යෝජනා බාර දීමේදී ප්‍රශ්නයක් පැන නොනගින බවත් ඔහු සඳහන් කරයි.
එහෙත් දින 100 රජයෙන් 19 වැනි ආණ්ඩුක්‍රම වයවස්ථා සංශෝධනය යටතේ ශ්‍රී ලංකාවේ පුරවැසියකු වෙනත් රටක පුරවැසි භාවය ලබා ඇත්නම් ඔහු හෝ ඇය පාර්ලිමේන්තු මන්ත්‍රී පදවියක් දැරීම නුසුදුසු බව එම නීතියේ පැහැදිලිවම සඳහන් කර ඇත.
මැතිවරණ කාර්යාලයෙන් වරදක් සිදුවී ඇත්නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීම පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගේ කාර්ය භාරය බවද මැතිවරණ කොමසාරිස් කාර්යාලය කියයි.
ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරියක ලෙස පත්වූ බව මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව ගැසට් කර ඇත්තේ 1981 පනත යටතේය. 19 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය පාර්ලිමේන්තුවෙන් සම්මත වුවත් එම සංශෝධනය 1981 පනතට මෙතෙක් එක්වී නැති හෙයින් ඇගේ නම ගැසට් කර ඇත්තේද ඒ අනුව බවත් දැනගන්නට ඇත.
මේ අතර සන්ධානයේ මාතර දිස්ත්‍රික් ලැයිස්තුවෙන් පරාජයට පත්වූ පළාත් සභා මන්ත්‍රී හා අකුරැස්ස සංවිධායක මනෝජ් සිරිසේන මහතාද පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ නම් ගීතා කුමාරසිංහ මහත්මියට අත්වීමට නියමිත ඉරණම ඔහුටද හිමිවිය හැකි බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශ්ලේෂකයෝ කියති.
සන්ධානය මාතර දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ධූර 5ක් දිනාගත් අතර මනෝජ් සිරිසේන මහතා එම ලැයිස්තුවේ 7 වැනියාය. (28723) ඔහු ඕස්ට්‍රේලියා පුරවැසියකු නිසා ඡන්දයට ඉදිරිපත් විය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ නාම යෝජනා බාර දුන් අවස්ථාවේ මූලික විරෝධයක් මතු කරමින් කියා සිටියේය.
එහෙත් තේරීම් බාර නිලධරයා එම විරෝධය පිළි නොගත්තේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් නීතිගතවූ නීතිය 1981 මැතිවරණ පනතට එක්නොවී තිබීම නිසා බව දැනගන්නට ඇත.
තේරීම් බාර නිලධරයා එහිදී විරෝධතා කරුවනට පැවසූයේ ඔහු මන්ත්‍රීවරයකු වුවහොත් උසාවියකින් ඔවුනට සාධාරණය ඉෂ්ට කරගත හැකි බවයි.
දැන් ප්රශ්නය මතුවී ඇත්තේ ශ්‍රී ලංකාවේ හා ඕස්ට්‍රේලියාවේ ද්විත්ව පුරවැසි භාවය ලබා සිටින සිරිසේන මහතාගේ පළාත් සභා මන්ත්‍රී ධූරය වලංගුද යන්න බව නීති අංශවල කථාබහට ලක්වී තිබේ. ද්විත්ව පුරවැසි භාවය ලබා සිටින කිසිවකුටත් ඡන්දය පවා දීමට නොහැකිය. කුමාරසිංහ මහත්මියත් සිරිසේන මහතාත් පසුගිය ඡන්දයේදී සිය ඡන්දය පාවිච්චි කර ඇත්නම් එයද නීති විරෝධී ක්‍රියාවක් බව 19 වැනි සංශෝධනයේ දැක්වේ.
ගාල්ල දිස්ත්‍රික් සන්ධාන මනාප ලැයිස්තුවේ ඊළඟට සිටිනුයේ පියසේන ගමගේ මහතාය.








