ජාතික ආණ්ඩුවේ ඇමතිවරුන් දිව්රුම්දීම යොදා ඇති සැප්තැම්බර් 2දා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හා ජාතික ආණ්ඩුවේ පාර්ශ්වකර පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපන්දිනය යෙදී තිබීම විශේෂ සිද්ධියකි.
ජාතික ආණ්ඩුවේ අමාත්‍යාංශ බෙදීම, ඒවාට අයත් විෂය පථය තීරණය කිරීම හා අමාත්‍යාංශ පැවැරීම ගැන දින ගණනාවක් තිස්සේ එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එම පක්ෂ දෙකේ ප්‍රධාන කණ්ඩායම් සමඟත් පැවැති සාකච්ඡාවලින් අනතුරුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර ඊයේ පැවැති හමුවකින් අමාත්‍යවරුන් පත්කිරීම හා දිවුරුම් දීම සම්බන්ධයෙන් අවසන් නිගමනයකට පත්ව තිබේ.
ඇමැති මණ්ඩලයේ සංඛ්‍යාව 55ත් 45ත් අතර විය යුතුය යන පදනම යටතේ මුල් වටයේදී සාකච්ඡා පැවැති අතර එක්සත් ජාතික පෙරමුණෙන් තරග කළ රාජිත සේනාරත්න, චම්පික රණවක, අර්ජුන රණතුංග එජාප ජාතික ලැයිස්තුවෙන් පත් කළ එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහත්වරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පත්කරන කැබිනට් ඇමැතිවරුන්ගේ ලැයිස්තුවට ඇතුළත් කිරීමට තීරණය වීම නිසා එම සාකච්ඡා කඩා වැටිණි.
අනතුරුව ඇමැති මණ්ඩලය 45කට සීමා විය යුතු බවටත්, එයින් ඇමැති ධුර 30ක් එජාපයටත් 15ක් ශ්‍රී ලනිපයටත් ලබාදීමට පෙරේදා පැවැති සාකච්ඡාවකදී යම් එකඟතාවකට පැමිණියත්, අමාත්‍යාංශ ඇතුළත් විය යුතු විෂය පථය සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් නිසා එම සාකච්ඡාව අසාර්ථක විය.
මෛත්‍රි – රනිල් සාකච්ඡා :
දිගින් දිගටම පැවැති සාකච්ඡාවලදී අවසන් තීරණයකට එළැඹීමට නොහැකි වීම මැද මෛත්‍රි – රනිල් අතර පමණක් ඊයේ පැවැති සාකච්ඡාවේදී ඇමැති මණ්ඩලය තෝරා පත්කර ගැනීම හා දිවුරුම්දීම ගැන තීරණයකට එළැඹිණි.
ඇමැති මණ්ඩලයේ සංඛ්‍යාව 30කට වැඩි වන්නේ නම් 19 වැනි ව්‍යවස්ථාව අනුව ඒ සඳහා පාර්ලිම්න්තුවෙන් අවසරයක් ලබාගත යුතුව ඇති බැවින් සැප්තැම්බර් 01 වැනිදා රැස්වන පාර්ලිමේන්තුවේදී එයට අදාළ යෝජනාව ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමටත් සැප්තැම්බර් 02දා නව ඇමැති මණ්ඩලය දිවුරුම්දීමටත් ජනාධිපති හා අගමැති අතර පැවැති සාකච්ඡාවේදී එකඟත්වයකට පැමිණ තිබේ.








