ලංකා ඊ නිව්ස්’ වෙබ් අඩවියේ මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන සිටින ‘තවේන්ද්‍රන්’ (සුමතිපාල සුරේෂ් කුමාර්) විසින් හෙළිකර ඇති තොරතුරු මත පදනම්ව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන් හා හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා ගෙන් ළඟදීම ප්‍රශ්න කිරීමට නියමිතය.
ප්‍රදීප් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශන වලදී ශ්‍රී ලංකා යුධ හමුදාවේ බුද්ධි අංශය ව්‍යාජ එල්.ටි.ටි.ඊ. සංවිධානයක් පවත්වාගෙන ගොස් ඇති බව මේ වනවිට තහවුරු වී ඇත.
මේ අනුව, ඉදිරි දින කිහිපය තුලදී හිටපු යුධ හමුදාපති ජගත් ජයසුරිය, යුධ හමුදා බුද්ධි අංශයට සම්බන්ධව සිටි මේජර් ජනරාල් කපිල හෙන්දාවිතාරණ, බ්‍රිගේඩියර් වන්නිආරච්චි, මේජර් ජනරාල් අමල් කරුණාසේකර, මේජර් ජනරාල් ජන්මික ලියනගේ යන අයගෙන් ද කට උත්තර ලබාගැනීමට නියමිත බව ද පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.
‘තවේන්ද්‍රන්’ ?
‘තවේන්ද්‍රන්’ එල්ටීටීඊ ඔත්තු සේවය වන ටොසී හි ප්‍රධානියකු වන ඥානවෙල් යටතේ සේවය කර ඇති අතර, ඔහු 2009 ජුනි මාසයේ දී පමණ හමුදා අත්අඩංගුවට පත්වීමෙන් පසු යුද හමුදා බුද්ධි අංශය සමග එක්ව මෙහෙයුම් රැසක් කර ඇත.
සුමතිපාල සුරේෂ් කුමාර් ගේ පියා සිංහල ජාතිකයෙකි. මව දෙමළය. ඔහුට චතුර ලෙස සිංහල බස හැසිරවීමේ හැකියාවද ඇතැයි පැවසේ.
වසර 1985 දී ඔහු එල්.ටී.ටී.ඊ.යට එක්ව ඇත. ඔහුගේ මව නාවික හමුදා ප්රහාරයකින්ද පියා යුද හමුදා ප්රහාරයකින්ද මියගොස් ඇත.
ඔහු එල්.ටී.ටී.ඊ.යට එක්ව ඇත්තේ වයස අවුරුදු 16දීය.
ඉන්දියන් සාම සාධක හමුදාව මෙරටට පැමිණීමෙන් පසු සුමතිපාල සුරේෂ් කුමාර එම හමුදාව විසින් අටවන ලද බිම් බෝම්බයකට හසුවී පාදය අහිමි වී තිබේ.
එතැන් පටන් ඔහු එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශයට අනුයුක්ත කර ඇත. එහිදී එම සංවිධානය විසින් ‘තවෙන්ද්‍රන්’ නමින් ඔහුව හඳුන්වා ඇත.
ඔහු මේවනවිට එල්.ටි.ටි.ඊ. සංවිධානය සමග මෙන්ම, යුධ හමුදා බුද්ධි අංශය සමග එක්ව සිදුකල මෙහෙයුම් රැසක් හෙළිකර ඇති අතර, ඔහු සමග සම්බන්ධතා පැවැත්වූ දකුණේ සංවිධාන, පුද්ගලයින් කිහිප දෙනෙකු හා මාධ්‍ය ආයතනයක් පිළිබඳවද තොරතුරු අනාවරණය කර ඇත.
සැකකරුවන් හතරකට අද රැඳවුම් නියෝග :
ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට 24 පසුගිය දා අත්අඩංගුවට ගනු ලැබූ යුධ හමුදා බුද්ධි අංශයේ ලුතිනන් කර්නල් කුමාර රත්නායක, ලුතිනන් කර්නල් සිරිවර්ධන, මාණ්ඩලික සැරයන් රාජපක්ෂ සහ කෝප්රල් ජයලත් යන සිව් දෙනා ගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා අද අධිකරණයෙන් රඳවා තබා ගැනීමේ නියෝගයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටියි.
මිට ඉහතදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් යුද හමුදාවේ සාජන් මේජර්වරයකු සහ ‘තවේන්ද්‍රන්’ ඇතුළු දෙමළ ජාතිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි.








