පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බවට තහවුරුවීම හේතුවෙන් මේ වනවිට තාවකාලික ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමකට ලක්ව සිටින අකිල ධනංජය, ඉන්දියාවේ චෙන්නායි නුවර ශ්‍රී රාමචන්ද්‍ර උසස් අධ්‍යාපන හා පර්යේෂණ මධ්‍යස්ථානයේ පිහිටි ක්‍රීඩා විද්‍යායතනයේදී ලබා දුන් පරීක්‍ෂණයේ ප්‍රතිඵල එළැඹෙන පෙබරවාරි 17 වැනිදාට පෙර ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග කියයි.
පසුගිය සෙනසුරාදා පැවැති මෙම පරීක්‍ෂණයේදී ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව් එකින් එකනිරීක්‍ෂණය කර තිබූ අතර, ඒ සඳහා අයි.සී.සී.යේ නියෝජිතවරුන් දෙදෙනකු වන ඩෙරික් ඩි සූසා සහ බෙන් ලීවර් යන මහත්වරුන් සහභාගි වී ඇති බවත් පැවසේ.
එහිදී අකිල ධනංජයගේ පිට දඟ පන්දු 18ක් හා කැරම් බෝල 12ක් පමණ පරීක්‍ෂණයට ලක්කර තිබූ අතර, ධනංජය යවන පිටදඟ පන්දුව ඔවුන්ගේ ප්‍රධාන සැකයට භාජනය වී තිබූ බවද කියැවේ.
එංගලන්තය සමඟින් පසුගිය වසරේ නොවැම්බර් 6 වැනි දින ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගය අතරතුරදී අකිලගේ පන්දු යැවීම සැක සහිත බව අයි.සී.සී.ය ප්‍රකාශයට පත්කළ අතර, නොවැම්බර් 23දා ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවරදී පැවැ පරීක්ෂණයකින් අනතුරුව ඔහුට මෙම තහනම පැනවීමට අයි.සී.සී.ය පියවර ගනු ලැබීය.
ඒ අනුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අයි.සී.සී.ය ප්‍රකාශ කර සිටියේ ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්වට අනුව ඔහු දැනට පවතින රෙගුලාසි යටතේ අවසර හිමි අංශක 15ක ආනතිය ඉක්මවන බවය.