රාජපක්ෂ පාර්ශ්වයේ ජනාධිපති අපේක්ෂකයා කියන හාදයා ගෙදරට බල්ලා ගේන්න ගුවන් යානයක් සූරිච්වලට යැවූ පුද්ගලයකු බවත්, කියන ආකාරයේ කළමනාකරණ ශක්තියක් ඔවුන් සතුව කිසිසේත් නැති බවද, මහා නගර සහ බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා පෙරේදා (28 ) බදුල්ල බස් නැවතුම්පළ ප්‍රතිසංවර්ධනය කිරීම සඳහා නිරීක්ෂණ චාරිකාවට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් විසින් ශ්‍රී ලංකන් ගුවන් සේවය පිළිබඳව නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති පාඨලී චම්පික රණවක මහතා මෙසේ ද පැවසීය.
අද සමහරු රට ඉස්සරහට ඇවිල්ලා රට හදන්න ඉල්ලනවා. අපි දන්නවා 2008 වර්ෂයේදී හොඳම උදාහරණය මේ රට හදන්න එන අය ගැන ශ්‍රී ලංකන් ගුවන් සේවය එමිරේට්ස් ආයතනය 1998 ඉඳන් දස අවුරුද්දකට අරගෙන ඒ අවුරුදු දහය ඇතුළේ මිලියන 14,000 ක ලාභයක් උපයලයි මහින්ද රාජපක්ෂට, ගෝඨාභය රාජපක්ෂට භාර දුන්නේ. ඒ ශ්‍රී ලංකන් ගුවන් සේවයට. මොකක්ද අද තත්ත්වය. අද වෙන කොට මේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පාඩුව මේ ජනාධිපතිවරණවලට ඉදිරිපත් වෙන්න හදනවා කියන පාලකයෝ යටතේ මිලියන 250ක්. මේ අපි හැමෝම රුපියල් 12,500 ක් මේ වෙනකොට ගෙවලා තියෙනවා මේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ, මිහින් ලංකා එකේ බර වෙනුවෙන්. මේවා තමයි මේ රටේ සංවර්ධනය කියලා කෙරුවෙ.
නමුත් මේ රජය එවැනි කිසිම සංවර්ධනයක් කරලා නෑ. ඒ භයානක ණය බරත් ගෙවන ගමන් ජනතාවට ආර්ථික ප්රතිලාභ ලැබෙන, ජනතාවට ආර්ථික ශක්තිය ලැබෙන කි‍්‍රයාමාර්ග විතරයි අපි අරන් තියෙන්නෙ. අපි මිනිස්සු එන්නැති සම්මන්ත්රණ ශාලා, ගුවන් යානා එන්නැති ගුවන් තොටුපළවල්, කි‍්‍රකට් ගහන්නැති කි‍්‍රකට් කී‍්‍රඩාංගණ, නම්බුවට හදපු වරායවල්, ඒ වගේම තී‍්‍රවීල් ගන්නවාටත් වඩා නරක විදිහට ගුවන් යානා අරගෙන රට බාල්දු කරලා නෑ. මට මතකයි ඒ කාලේ අද මේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කියන හාදයාට ගෙදරට බල්ලා ගේන්න ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානයක් ඇරියා සූච්වලට. ගුවන් යානයක් ඇරියා ගෙදරට බල්ලා ගේන්න. ඒ ගොල්ලෝ තමයි මේ කළමනාකරණයේ දක්ෂයෝ හැටියට අද ඉල්ලන්න යන්නෙ ජනාධිපතිවරණයට. එහෙමයි ශ්‍රී ලංකන් ගුවන් සේවය කළේ. අද ඒකෙ පාපය ගෙවන්න වෙලා තියෙන්නේ කිරිපිටිවලින්, පාන්පිටිවලින්, ඒ වගේම අනෙකුත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවලින් අපේ රටේ ජනතාවට යැයි පැවසීය.









