FAST NEWS

24×7 Around the Globe

කැබිනට් මණ්ඩලය දිවුරුම්දීම සැප්තැම්බර් 02 ට කල් යයි.

නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම්දීම සැප්තැම්බර් මස 02 වන දින සිදුකරන බව එජාප සභාපති මලික් සමරවික්‍රම මහතා පවසයි.

කෙසේ වෙතත් ඉකුත් අගෝස්තු 17 වන දින පැවති මහමැතිවරණයෙන් පසු පළමු වරට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත්තේ සැප්තැම්බර් මස 1 දාය.

මේවන විට අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම්දී ඇති අතර විදේශ අමාත්‍ය ලෙස මංගල සමරවීර මහතාද, අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය ලෙස විජයදාස රාජපක්ෂ මහතාද, පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම් අමාත්‍ය ලෙස ඩී.එම් ස්වාමිනාදන් මහතා ද දිවුරුම් දී තිබේ.

මේ අතර ජාතික ආණ්ඩුවකට එජාපය හා ශ්‍රීලනිපය අවසන් එකඟතාවකට පැමිණ ඇති අතර අමාත්‍යංශ හා නියෝජ්‍ය අමාත්‍යධූර ප්‍රධාන පක්ෂ දෙක අතර බෙදාගැනීම සම්බන්ධයෙන් මේවන විට අර්ධ වශයෙන් එකඟතාවකට පැමිණ ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව ශ්‍රීලනිපයට මහාමාර්ග, උසස් අධ්‍යාපන,වාරිමාර්ග, කෘෂිකාර්මික හා සමෘද්ධි අමාත්‍යංශ ලබාදීමට මූලික සාකච්ඡාවලදී එකඟවී ඇතැයි සඳහන්ය.

මේ අතර රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයද ශ්‍රීලනිප නියෝජිතයින් විසින් ඉල්ලා ඇතත් එය ලබාදීමට එජාපයේ වගකිවයුත්තන් එකඟවී නොමැති බවද දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියි.