සහජ දක්ෂතා උරුම කර ගත් බාල පරම්පරාවක් ශ්‍රී ලංකාවේ සිටින බවත් එම සම්පත නිසි ලෙස කළමනාකරණය කළහොත් මහේල සහ සංගක්කාරගේ හිදැස පිරවිය හැකි බව ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා පවසයි.
බීබීසීය සමඟ කළ විශේෂ සාකච්ඡාවක දී ඔහු මේ බව කියා සිටියේ කුමාර් සංගක්කාරගේ සමු ගැනීම පිළිබඳව අදහස් දක්වමින්.
‘මහේල, සංගා නැති අඩුව පිරවීම අමාරු දෙයක්. නමුත් හැකියාව තියෙන බොහෝ අය අපට ඉන්නවා. නිසි කළමනාකරණයක් සහ පරිපාලනයක් තුළින් ඔවුන්ගේ දක්ෂතා මතු කර ගත යුතුයි. අර්ජුනයි මමයි අයින් වෙනකොටත් ඔය කතාවම කිව්වා. ඒත් ක්‍රිකට් නවතින්නේ නැහැ. ඒක ඉදිරියට යනවා.’ සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වා පැවසීය.
කුමාර් සංගක්කාර නවක ක්‍රීඩකයන්ට හොඳ උදාහරණයක් වූ බවත් පිටියෙන් පිටත දී පවා ඔහුගේ හැසිරීම තරුණයන්ට ආදර්ශමත් වූ බවත් ඔහු ප්‍රකාශ කළේය.
පුහුණු වීම් වලදී ඉතා කැප වීමෙන් කටයුතු කළ සංගක්කාර එහි ප්‍රතිඵල අද භුක්ති විඳින බවයි, ශ්‍රී ලංකාවට ලෝක කුසලානය ගෙන ඒමට මුල් වූ අරවින්ද පවසන්නේ.
මහේල සහ සංගා සමඟ ක්‍රීඩා කළ අවදිය සිහිපත් කරමින් ඔහු කියා සිටියේ එදා තිබුණු මිත්‍රත්වය අද දක්වාම කිසි වෙනසක් නොමැතිව පවත්වා ගෙන යාම තමා අගය කරන බවයි.
‘එදා පටන් අද දක්වාම ඔවුන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ට ඒ විදියටම ගරු කරනවා. මුල අමතක නොවීම ඔවුන් තුළ ඇති ඉතා අගය කළ යුතු ගුණාංගයක් ලෙස මම දකිනවා. අපේ කණ්ඩායමේ හැම දෙනාටම වගේ ඒ සම්බන්ධයෙන් මම ගරු කරනවා.’ ඔහු තව දුරටත් පැවසීය.
සංගක්කාරගේ නික්ම යාම, ක්‍රීඩකයෙකුගේ විශිෂ්ඨ ගමනක නිමාවක් ලෙස තමා දකින බවත් ඉදිරියේදී ලංකාවට විශාල සේවයක් කිරීමට ඔහුට හැකියාව ඇති බවත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක අරවින්ද ද සිල්වා බීබීසීයට කියා සිටියේය.






