FAST NEWS

24×7 Around the Globe

බංගලියන් පරදා කොදෙව්වෝ තරඟාවලි ජයක් ලබති..

 

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර ඊයේ (23) පැවැති තුන්වැනි විස්සයි-20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 50ක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.

ඒ අනුව තරග තුනකින් සමන්විත වූ විස්සයි – 20 ක්‍රිකට් තරගාවලිය තරග 2-1ක් ලෙසින් ජය ගැනීමට කොදෙව්වන් සමත් විය.

ඩකා නුවර ෂෙරී බංග්ලා ජාතික ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව්වෝ නියමිත පන්දුවාර 19යි පන්දු දෙකක් අවසානයේ සියලුදෙනා දැවීගොස් ලකුණු 190ක් ලබා ගැනීමට සමත් විය.

එහිදී එවින් ලුවිස් පන්දු 36ක් තුළ හතරේ පහර 6ක් සහ හයේ පහර 8ක් සමඟින් ලකුණු 89ක් ලබා ගැනීම කැපී පෙනිණි.

බංග්ලාදේශය වෙනුවෙන් පන්දු යැවීමේදී සකිබ් අල් හසන්, මුස්ටෆිසුර් රෙහෙමාන් සහ මහමුදුල්ලා කඩුලු 3 බැගින් දවා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට පන්දුවාර 17කදී සියල්ලන් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 140ක් පමණි.

එහිදී ලිතන් දාස් ලකුණු 43ක් සහ අබු හයිඩර් නොදැවී ලකුණු 22ක් ලබා ගත්තේය.

පන්දු යැවීමේදී කීමෝ පෝල් කඩුලු 5ක් සහ ෆේබියන් ඇලන් කඩුලු 2ක් බිඳහෙළීය. එවින් ලුවිස් තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනාගත් අතර සකිබ් අල් හසන් තරගාවලියේ වීරයා ලෙසින් සම්මාන දිනා ගත්තේය.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම
(පන්දුවාර 19.2කදී සියල්ලන් දැවී) ලකුණු 190(එවින් ලුවිස් 89, නිකොලෙස් පූරන් 29, සකිබ් අල් හසන් 37/3)

බංග්ලාදේශ කණ්ඩායම
(පන්දුවාර 17කදී සියල්ලන් දැවී) ලකුණු 140 (ලිතන් දාස් 43, අබු හයිඩර් නොදැවී 22, කීමෝ පෝල් 15/5)