අග්‍රාමාත්‍ය ධුරය සඳහා එක්සත් ජාතික පෙරමුණේ නායකයෙකු තෝරාගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්විය යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ හා එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබලයින් එකඟතාවකට පැමිණෙමින් සිටින බවට සිරිකොත ආරංචි මාර්ග පවසයි.
රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධුරය ලබාදීම ජනාධිපතිවරයා ප්‍රතික්‍ෂේප කිරීමත්, ඔහු ඉන් ඉවත් නොවීමත් තුළ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවක් බිහිකර ගැනීමේ අවස්ථාව අහිමි වී යෑමේ තත්ත්වයක් හටගෙන ඇති බැවින් මෙම තත්වයට අවතීර්ණ වෙමීන් පවතින බව පැවසේ.
මේ අනුව අගමැති අපේක්ෂකයා තේරීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමේ අවශ්‍යතාවක් ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් අතර දීර්ඝ සාකච්ඡා ආරම්භ වී ඇති බව කියැවේ.
මෙම රහස් ඡන්දය සඳහා ඡන්දය ලබා දීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයින් මෙන්ම 80 දෙනෙක් පමණ වන එජාපෙ මන්ත්‍රී කණ්ඩායම විසින් සිදුකළ යුතු බවටද මෙම සාකච්ඡාවලදී එකඟතාවලට පැමිණ ඇති බවද වාර්තා වෙයි.
මේ අතර, පෙරේදා (04) අරලියගහ මන්දිරයේදී පැවති එක්සත් ජාතික පෙරමුණු කණ්ඩායම් රැස්වීමේදී එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා දක්වනු ලැබූ දැඩි ස්ථාවරත්වය හා දැඩි ප්‍රකාශයන් පිළිබඳව එජාප මන්ත්‍රීවරු රැසකගේ ප්‍රසාදය හිමිව ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ අදහස් පළ කිරීම, මෙම රහස් ඡන්දය පැවැත්විය යුතු බවට එජාප ප්‍රබලයින් වඩාත් උනන්දුවීමට ද හේතුවී ඇති බවද ප්‍රකාශ වේ.
එජාප රැස්වීමේදී අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා පවසා ඇත්තේ, පක්ෂය තමන්ගෙන් වැඩක් නොගත් බවත් සෑම අවස්ථාවකම තමා පාපිස්සක් ලෙස භාවිත කළ බවත්ය.
රට තුළ පවතින තත්ත්වය කොළඹ 07 ජීවත්වන මිනිසුන්ට නොතේරෙන බවත්, ගමේ පවතින තත්ත්වය අවබෝධ කරගත යුතුව ඇති බවටත් සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පවසා ඇති බව පැවසේ.









