FAST NEWS

24×7 Around the Globe

හතුරුගෙන් විශේෂ ප්‍රකාශයක් – කොදෙව් පාලක මණ්ඩලයෙන් අමුතු කතාවක්..

 

තමා ඉන්දීය කොදෙව් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා නම් කිරීමට යෝජිත කෙටි ලැයිස්තුවට ඇතුළත් පුහුණුකරුවන් කිහිපදෙනා අතර ඉදිරියෙන්ම සිටින බවට පළවන වාර්තාව සම්පූර්ණ අසත්‍යක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා මාධ්‍ය වෙත පැවසීය.

ඒ අනුව මීට සති කිහිපයකට පෙර චන්දික හතුරුසිංහ මහතා එම තනතුර සඳහා ඉතාමත් රහසිගතව ඉල්ලුම් පත් යොමු කර ඇතැයි එකී වාර්තා සඳහන් කළේය.

එසේම ඔහු සමඟ බටහිර ඉන්දීය කොදෙව් පිලේ හිටපු වේගපන්දු යවන්නකු වන කට්නි වෝල්ෂ් සහ එංගලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස් ඇඩම්ස් යන පුහුණුකරුවන් ද එම තනතුර හිමි වීමේ වැඩි ඉඩක් පවතින අනෙක් පුහුණුකරුවන් දෙදෙනා බවද කියැවුණි.

කෙසේ වෙතත් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන පෙළේ නිලධාරියෙක් විදෙස් මාධ්‍ය හමුවේ අදහස් දක්වා තිබේ.

“චන්දික හතුරුසිංහ, කට්නි වෝල්ෂ් සහ ක්‍රිස් ඇඩම්ස් බටහිර ඉන්දීය කොදෙව් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා තොරාගැනීමට ඉඩ ඇති ඉදිරියෙන්ම සිටින කිහිපදෙනා බව සත්‍යයක්. නමුත් හතුරුසිංහ මහතා සමඟ මුහුණට මුහුණ සාකච්ඡාවක් පවත්වන තෙක් ඒ සම්බන්ධයෙන් යමක් ප්‍රකාශ කිරීමට නොහැකියි. කට්නි වෝල්ෂ් සම්බන්ධයෙනුත් අපගේ දැඩි අවධානය යොමු කර තිබුණත් ඔහු කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා.”

කෙසේ වෙතත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කළ ඕස්ට්‍රේලියානු හිටපු ක්‍රීඩක ස්ටුවර්ට් ලෝ එම තනතුරෙන් ඉවත් වීමෙන් අනතුරුව අන්තර්කාලීන වැඩ බලන පුහුණුකරු වශයෙන් මේ වන විට නික් පෝතාස් කටයුතු කරයි.