ඊයේ (15) දිනයේදී බළන්ගොඩ සහ තදාසන්න ප්‍රදේශවල අනිකුත් දිනවලට වඩා එළවළු මිල ගණන් තුන්ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවත් එම ප්‍රදේශවල එළවළු වර්ගවල හිගයක් පවතින බවත් පාරිභෝගිකයන් චෝදනා නගයි.
දෙහි කිලෝවක මිල රුපියල් 800 ක් දක්වාත්, බෝංචි කිලෝවක මිල රුපියල් 320 ක් දක්වාත්, මාළුමිරිස් කිලෝවක මිල රුපියල් 320 ක් දක්වාත්, ඉකුත් දිනවල රුපියල් විස්සට පැවැති කක්කාලි කිලෝවක මිල රුපියල් 320 ක් දක්වාත්, කරවිල කිලෝවක මිල රුපියල් 280 දක්වාත්, කැරට් කිලෝවක මිල රුපියල් 400 ක් දක්වාත්, ලීක්ස් කිලෝවක මිල රුපියල් 200 ක් දක්වාත්, බීට් කිලෝවක මිල රුපියල් 200 ක් දක්වාත් ඉතා අධික ලෙස මිල ඉහළ ගොස් ඇති බව ජනතාව පවසයි.
පසුගිය දිනවල රුපියල් 60-80 ත් මිල ගණන්වලට පැවැති බටු, මෑ, ගෝවා, කැකිරි, බණ්ඩක්කා, රාබු වැනි එළවළු වර්ගවල කිලෝවක මිල ගණන් රුපියල් 160 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජනතාව පවසති.
පසුගිය සමයේ අධික වර්ෂාවත් සමඟ ප්‍රදේශයේ එළවළු වගාවන් විනාශ වී ඇති බවත් ඒ හේතුවෙන් වෙළෙඳසල්වලට ලැබෙන එළවළු වර්ගවල විශාල හිඟයක් පවතින බවත් එළවළු වෙළෙන්දන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත.
එළවළු මිල ගණන් ඉහළ යාම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවයට පත්ව ඇති බව ද වාර්තා වෙයි.