FAST NEWS

24×7 Around the Globe

ජමාල් කශෝගිගේ ඝාතනයට සම්බන්ධ 05 දෙනෙකුට මරණ දඩුවම…

සෞදි මාධ්‍යවේදී ජමාල් කශොග්ජිගේ ඝාතනයට සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන්ගේ සම්බන්ධයක් නැති බවද එම සිදුවීමට සම්බන්ධ නිලධාරීන් 05 දෙනකුට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක වන්නේ යැයි ද එරට නීතිපතිවරයා විසින් ඊයේ (15) දිනයේදී ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජමාල් කශොග්ජි ඝාතනයට එරට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනකු සම්බන්ධ යැයි ද නීතිපතිවරයා සඳහන් කර ඇත.
කශොග්ජිගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා සෞදි අරාබියේ නීතිපතිවරයා තුර්කියට පැමිණි අතර ඔහු පසුගිය කාලයේදී තුර්කි බලධාරීන් හා එක්වෙමින් පරීක්ෂණ පවත්වා ඇත.
සෞදි අරාබියේ බුද්ධි අංශයේ නියෝජ්‍ය ප්‍රධානියා වන ජෙනරල් අහ්මෙද් අල් ඇසිරි ජමාල් කශොග්ජි ඝාතනයට අණ දී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.
ජමාල් කශොග්ජිගේ ඝාතනයට සම්බන්ධයෙන් සෞදිය අරාබියට ජාත්‍යන්තරයෙන් දැඩි පීඩනයක් එල්ල වූ අතර ඝාතනය සම්බන්ධයෙන් පූර්ණ විනිවිද පරීක්ෂණයක් පවත්වැන්නැයි ද ජාත්‍යන්තරය අවධාරණය කළේය.
කශොග්ජිගේ ඝාතනයට සම්බන්ධ හඬපට සහ තවත් තොරතුරු රැසක් තුර්කිය ඇමෙරිකා එක්සත් ජනපදයටත්, සෞදි අරාබිය සහ තවත් බටහිර රටවල් කිහිපයකටත් ලබාදීමට පියවර ගත් බව විදෙස් මාධ්‍ය පසුගිය දිනවල වාර්තා කළේය.