FAST NEWS

24×7 Around the Globe

ලෝක කුසලානය,මෙන්ඩිස් හා හේරත් ගැන චන්දිමාල්ගෙන් ප්‍රකාශ..

ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කිරීමට පෙර තවත් ක්‍රීඩකයන් කීපදෙනකු හඳුනාගැනීමට ඉතිරිව ඇති බව සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ‍පැවැති අවසන් එක්දින තරගයේ ජයග්‍රහණයෙන් පසුව නායක දිනේෂ් චන්දිමාල් පැවසීය.
“අපිට තව කීපදෙනෙක් ඉන්නවා ලෝක කුසලානය සඳහා හදුනාගන්න. ඒ නිසා තමයි මෙම අවසන් තරගයේදීත් නව ක්‍රීඩකයන්ට අවස්ථාව දුන්නේ. ඔවුන් කොතනද ඉන්නෙ කියලා බලාගන්න. මම හිතනවා අපේ ප්‍රධාන ඉලක්කය ලෝක කුසලානය. අපි එතට යන්න පෙර තරග ජයග්‍රහණය කරන අතරේ තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාව දෙන්න පුළුවන් නම් ඒක තමයි වඩාත් වැඳගත්”
#කුසල් මෙන්ඩිස්..
“අපි ඔහුව විශ්වාස කළා. අංක එකට ඔහුගේ පන්දු රැකීම විශ්වාස කළා. පන්දු රකින විට ඔහුගේ හැසිරීම පන්දුවට පහර දෙන්න වැඳගත් වෙනවා. අපි දන්නවා කුසල් වගේ ක්‍රීඩකයෙක් කොයි මොහොතක හෝ දස්කම් අතරට එනවා කියලා. ඒ විශ්වාසය උඩ තමයි ඒ අවස්ථාව දුන්නේ”
“මෙන්ඩිස්ට විතරක් නොවෙයි. සෑම ක්‍රීඩකයකුටම ඉහළට යෑම් පහතට වැටීම් තියෙනවා. ඒවා ක්‍රීඩාවේ පමණක් නොවෙයි අපේ පෞද්ගලික ජීවිතයෙත් තියෙනවා. ඒක අපි සියලු දෙනාටම වෙන්න පුළුවන්. කුසල් මෙන්ඩිස් කියන්නේ අපේ අනාගතය අපි ඔහුව විශ්වාස කරනවා. මම හිතනවා ඔහු ඉදිරියේදීත් දස්කම් අතර රැදෙයි කියලා”
#රිවර් සුවියිප්
“මම ඒක වසර දෙකක පමණ සිට පුහුණුවීම් කරන පහරක්. මම හිතනවා සබ්කොන්ටිනට් ක්‍රීඩා කරන විට පිතිකරුවකුට එවැනි පහරක් අත්‍යඅවශ්‍යයි. පන්දුව දඟ කැවෙද්දී විශේෂයෙන්ම වැදගත්. මගේ ඉනිම ගොඩනගන්න ඒ ‘සුයිප්’ පහර වඩාත් වැඳගත් වුණා”
#රංගන හේරත්
“අපි දන්නවා රංගන අයියා ශ්‍රී ලංකාවේ ක්‍රිකට්වලට කරලා තියෙන සේවය. විශේෂයෙන් මට නායකත්වයට පත්වූ දිනයේ සිට ගොඩක් උදව් කඵ ක්‍රීඩකයෙක් රංගන හේරත්. ඔහු සමුගැනීමට රටට වගේම මටත් විශාල පාඩුවක්. අපිට හැමෝටම එනවා දවසක් මේ ක්‍රීඩාවෙන් යන්න. මම ඔහුට සුබ පතනවා”
“රංගන අයියා තව වසර පහක් ක්‍රීඩා කරනවා නම් මම ඒකට කැමතියි. මම ඔහුත් එක්ක සාකච්ඡා කළා. ඔහු වැඩියෙන් හිතන්නේ ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය අඩු මට්ටමක තියෙනවා කියලයි. ඒ නිසා තමයි ඔහු යන්නේ. ඔහු තව වසර දෙකක් තුනක් ක්‍රීඩා කරනවා නම් මම කැමතියි”
#ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට
“ඇත්තටම ක්‍රීඩා ලෝලීන් පිරී ඉන්නවා නම් අපිට සතුටින් ක්‍රීඩා කරන්න පුළුවන්. අපි දන්නවා කණ්ඩායම හොඳ සහ නරක කියන අවස්ථා දෙකේදීම ප්‍රේක්‍ෂකයෝ තමයි අපිව දිරිගන්වන්නේ. අද නිවාඩු දවසක් නොවන නිසා වෙන්න ඇති ප්‍රේක්‍ෂකයෝ අඩු වුණේ. මට කියන්න තියෙන්නේ මේ වෙලාවේ ප්‍රේක්‍ෂකයන්, මාධ්‍යය අපිට පුළුවන් උදව්වක් දෙන්න. ඒ උදව්ව ලැබුණොත් අපිට මීට වඩා ඉදිරියට යන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා”