FAST NEWS

24×7 Around the Globe

නව ක්‍රිකට් තේරිම් කමීටුවේ මුල් පුටුවට හිටපු සුපිරි තරු 02 ක් එයි..

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම අසාර්ථකත්වයට පත්වීම පිළිබඳව වගකීමක් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවටද පැවැරෙන බැවින් එම කමිටුවද ඉවත් කොට නව තේරීම් කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ඉදිරි දින කිහිපය තුළදී කටයුතු කරනු ඇති බවත් නව ජාතික තේරීම් කමිටුවේ සභාපති තනතුර සඳහා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයන් වන බන්ධුල වර්ණපුර හා රොෂාන් මහානාමගේ නම් යෝජනා වී ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.
ශ්‍රී ලංකා කණ්ඩායම වර්තමානයේදී ලද දරුණු පසුබෑම හේතුවෙන් චෝදනා ලැබූ ඇන්ජිලෝ මැතිව්ස්ට නායකත්වයෙන් ඉල්ලා අස්වන ලෙසට යෝජනා කරන්නට ග්‍රහැම් ලැබ්රෝයි ප්‍රමුඛ ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව සහ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ කටයුතු කළද මෙසේ ලද පරාජයන්ගේ වගකීමෙන් ගැලවීමට ජාතික තේරීම් කමිටුවට සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හතුරුසිංහටද නොහැකි බව ක්‍රීඩා අමාත්‍යවරයාගේ මතය වී ඇතැයිද පැවැසේ.
තම ඉල්ලා අස්වීම සම්බන්ධව හිටපු නායක ඇන්ජිලෝ මැතිව්ස් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා වෙත යවන ලද ලිපියේද වගකීම පිළිබඳව එවන් මතයක් පළකර ඇත.
කෙසේ වෙතත් නව තේරීම් කමිටුව පත්කිරීමට පෙර ක්‍රීඩා අමාත්‍යවරයා අයි.සී.සී.යට පොරොන්දු වූ පරිදි මෙරට ක්‍රිකට් පරිපාලනය සඳහා පස්දෙනකුගෙන් යුත් කළමනාකරණ කමිටුව ඉදිරි සතිය තුළදී පත් කිරීමටද නියමිත බව පැවසේ.