FAST NEWS

24×7 Around the Globe

හෂිනි රත්නායකට තාවකාලිකව රට යාමට අවසර…

ප්‍රවීණ ගායක වික්ටර් රත්නායකයන්ගේ බිරිද වන හෂිණි අමේන්ද්‍රා රත්නායක විසින් ඊයේ (20) ඕස්ට්‍රේලියාවේ සහ එංගලන්තයේ පැවැත්වෙන සංගීත සංදර්ශණ දෙකක් සඳහා විදෙස් ගතවීමට අවසර දෙන ලෙස තංගල්ල මහාධිකරණයෙන් ඉල්ලීමක් කරනු ලැබීය.
එම ඉල්ලීම සළකා බැලූ තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා සැකකාරිය රුපියල් ලක්ෂ 10 ක බැදුම්කරයක් මත හා පුද්ගල ඇපයක් මත විදෙස් ගත වීමට අවසර ලබා දුන්නේය.
හෂිණි අමේන්ද්‍රා 2012 සිට 2016 දක්වා කාලය තුළ තංගල්ලේ රාජ්‍ය බැංකුවක සේවය කරමින් සිටියදී එහි උකස් අංශයේ තිබූ රුපියල් දොළොස් ලක්ෂ 80000 ක් වටිනා රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහරිනු ලැබීය.
පුද්ගල ඇපය තබන පුද්ගලයා සතු විදෙස් ගමන් බලපත්‍රයද මහාධිකරණය හමුවේ තැබිය යුතු වන අතර සැකකාරිය නැවත ලංකාවට පැමිණෙන තුරු ඇපකරුට විදෙස් ගත වීමද තහනම් කෙරුණි.
ඊට අමතරව සැකකාරිය සදහා 2018-10-17 දින සිට 2018-11-10 දින දක්වා විදෙස් සංචාරයේ යෙදීමටත් ලංකාවට පැමිණ දින 07 ක් ඇතුළත නැවත ඇයගේ විදෙස් ගමන් බලපත්‍රය තංගල්ල මහාධිකරණ රෙජිස්ට්‍රාර් වරයාට බාර දෙන ලෙසත් මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්.සපුවිද මහතා නියෝග කෙරුණි.