චීන සහ රුසියානු සොල්දාදුවන් දහස් ගණනක් යුද අභ්‍යාසයක් අරඹයි..

චීන සහ රුසියානු සොල්දාදුවන් දහස් ගණනක් යුද අභ්‍යාසයක් අරඹයි..

චීන සොල්දාදුවන්ගේ සහභාගීත්වයෙන් සහ රුසියානු සොල්දාදුවන් දහස් ගණනකට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් රුසියාව විසින් ඊයේ (11) දැවැන්ත යුද අභ්‍යාසයක් අරඹනු ලැබීය.
මෙම යුද අභ්‍යාසය “වොස්ටොක් 2018 (නැගෙනහිර 2018)” යනුවෙන් නම්කර ඇත.
‘මහා පරිමාණ ගැටුමක්’ සූදානම් වීමක් යැයි මෙම යුද අභ්‍යාසය විවේචනය කරමින් නේටෝ සංවිධානය නිවේදනයක් ද නිකුත් කර ඇත.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද මෙම යුද අභ්‍යාසය නිරීක්ෂණය සඳහා පැමිණීමට නියමිතය. ඒ නැගෙනහිර රුසියාවේ වැලැඩිවොස්ටොක්හි ආර්ථික සමුළුවට සහභාගී වීමෙන් අනතුරුවයි.
ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහා චීන ජනාධිපති ෂී ජින්පින්ග් සහභාගී වී සිටින අතර ඔහු ද යුද අභ්‍යාස නිරීක්ෂණයට පැමිණීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊයෙන් ආරම්භ වූ මෙම යුද අභ්‍යාසය සතියක් මුළුල්ලේ පැවැත්වීමට නියමිතය.
සොල්දාදුවන් 300,000 කට ආසන්න පිරිසක් සහභාගී වන මෙම යුද අභ්‍යාසයට යුද වාහන 36,000ක්, නැව් 80ක් යොදා ගැනීමට නියමිතය. ඊට අමතරව ගුවන් යානා, හෙලිකොප්ටර් සහ ඩ්‍රෝන යානා 1,000ක් ද ඊට යොදාගැනේ.
යුද අභ්‍යාසවලට චීන සෙබළු 3,500 කට ආසන්න පිරිසක් ද සහභාගි වී සිටිති.
“දේශපාලන සහ ආරක්ෂක යන අංශවලින් අපත් චීනයත් අතර ශක්තිමත් සහ විශ්වාසවන්ත සබඳතාවක් තිබෙනවා” යැයි රුසියානු ජනාධිපති පුටින් පවසා ඇත.
“දෙරටේ මිත්‍රත්වය දිගින් දිගටම ශක්තිමත් වෙමින් තිබෙනවා” යැයි ඊට ප්‍රතිචාර දක්වමින් චීන ජනාධිපති ෂී ජින්පින්ග් සදහන් කර ඇත.