FAST NEWS

24×7 Around the Globe

රෝහල් හා සෞඛ්‍ය ආයතනවල බුලත් විට සැපීම – විකිණීම තහනම්..

මෙරට සියලු රෝහල් සහ අනෙකුත් සෞඛ්‍ය ආයතනවල බුලත් විට සැපීම සහ බුලත්විට, දුම්කොළ, පුවක් සහ පුවක් ආශ්‍රිත නිෂ්පාදන විකිණීම තහනම් කිරීමට පියවර ගෙන ඇත.
නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දන්ත) සහ ජාතික දන්ත රෝහලේ අධ්‍යක්ෂ, විශේෂඥ දන්ත ශල්‍ය වෛද්‍ය චන්දන ගජනායක මහතා මේ පිළිබදව සදහන් කර සිටියේ ඊයේ (23) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
2017 නොවැම්බර් මස 24 වැනිදා රැස්වූ පිළිකා වැළැක්වීමේ සහ පාලනය පිළිබඳ උපදේශක කමිටු රැස්වීමේදී මෙම තීරණය ගත් බවත්, චක්‍ර‍ලේඛයක් මගින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් සියලුම සෞඛ්‍ය ආයතනවලට මේ බව දැනුම් දී ඇති බවත් ඒ මහතා කියා සිටියේය.
මීට අමතරව 2016 සැප්තැම්බර් මස සිට දුම් රහිත දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන මෙරටට ගෙන ඒම හා රටතුළ විකිණීම තහනම් කර ඇතත්, එම නීතිය පිළිබඳ ඇති නොදැනුම්වත්භාවය නිසා මෙම නිෂ්පාදන අලෙවි කිරීම තවදුරටත් සිදුවන බවද නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.