FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රී ප්‍රසන්න රණවීරට පාර්ලිමේන්තුව තහනම් කෙරෙයි..!!

පාර්ලිමේන්තුවේදී අශෝභන ලෙස හැසිරීම හේතුවෙන් මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතාට ස්ථාවර නියෝග සහ වරප්‍රසාද යටතේ තාවකාලික පාර්ලිමේන්තු තහනමක් පැනවීමට නිර්දේශ ලබා දීමට පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටු කටයුතු කර ඇති බව එම කමීටු ආරංචි මාර්ග පවසයි.
ඊයේ (16) වරප්‍රසාද කමිටුව හමුවට පැමිණි මන්ත්‍රීවරයා සිය වරද පිළි ගෙන ඇති බවත් ඒ අනුව එම දඬුවම යටතේ අවමය වශයෙන් සති 4ක කාලයක් පාර්ලිමේන්තු තහනමක් හිමිවිය හැකි බවද පැවසේ.
අවස්ථා දෙකකදී මන්ත්‍රීවරයා අශෝභන ලෙස හැසිරීම හේතුවෙන් පාර්ලිමේන්තු තහනමට අදාළ නිර්දේශ ලබාදීමට මෙසේ කමිටුව තීරණය කර ඇති බවද පැවසේ.
පෙර අවස්ථාවක අශෝභන ලෙස හැසිරුණු මන්ත්‍රීවරයාට අවවාද කිරීමට මීට පෙර පියවර ගෙන තිබූ බවත් ,එහෙත් පසුගිය 03 වනදා පාර්ලිමේන්තුවේ විවාදයක් අතරතුර අශෝභන ලෙස හැසිරෙමින් සෙංකෝලය රැගෙන යාමට මන්ත්‍රීවරයා උත්සාහ කිරිම හේතුවෙන් එම පියවර ගන්නා බව වරප්‍රසාද කමිටුව අවධාරණය කර ඇති බව පැවසේ.
ප්‍රසන්න රණවීර මහතා සම්බන්ධයෙන් වරප්‍රසාද කමිටුව ඉදිරිපත් කරන නිර්දේශ අද (17) දිනයේ කථානායක කරු ජයසූරිය මහතාට භාරදීමට බලාපොරොත්තු වන බවද පැවසේ.