FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට ඇමරිකාවෙන් රුපියල් කෝටි 8000ක්..

ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපද සහයෝගිතා ව්‍යාපෘති කාර්යාලය මඟින් රුපියල් කෝටි 8000 ක ප්‍රදානයක් ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා සදහන් කරයි.
අමාත්‍යවරයා පවසා සිටින්නේ ඉඩම්, ප්‍රවාහන, කෘෂිකර්ම, උසස් අධ්‍යාපන සහ විදුලි බල යන ක්ෂේත්‍රවල සංවර්ධනය වෙනුවෙන් මෙම ප්‍රදානයන් යෙදවීමට යෝජිත බවයි. ‍
මෙම කෝටි 8000ක යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ අදාළ ගිවිසුම් ශ්‍රී ලංකා රජය සහ ඇමරිකානු එක්සත් ජනපද සහශ්‍ර සහයෝගිතා ව්‍යාපෘති කාර්යාලය අතර එළඹෙන දෙසැම්බර් මාසයේදී අත්සන් තැබීමට නියමිතය.
මෙම මුල්‍ය ප්‍රධානයන්ගෙන් යෝජිත සංවර්ධන ව්‍යාපෘතිවලට අනුව අවිස්සාවේල්ල සිට පැල්මඩුල්ල දක්වාත්, බෙරගල සිට වැල්ලවාය දක්වාත් නාවුල සිට දඹුල්ල දක්වා සහ දඹුල්ල සිට තල ගහවැව දක්වා A ශ්‍රේණියේ මාර්ග රැසක් සංවර්ධනය කිරීමට නියමිතව ඇත.
මීට අමතරව දිවයින පුරා සමස්ථ ප්‍රවාහන පද්ධතියම ආවරණය වන පරිදි රාජ්‍ය සහ පෞද්ගලික අංශය එකාබද්ධව නවීකරණ වැඩසටහන්ද ක්‍රියාත්මක කෙරේ.
මේ අතර කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශ ආශ්‍රිතව රථවාහන නියාමන ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීමද සිදුවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සදහන් කර සිටියේය.