FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාවේ ආයෝජනය ඇතිව ව්‍යාපෘතීන් කීපයක් මේ වසරේදී..

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘතින් කිහිපයකම ව්‍යාපෘතින් කිහිපයකම වැඩ කටයුතු ඉන්දියාවේ සහය හා ආයෝජන ඇතුව මේ වසර තුළ දී ආරම්භ කිරීමට නියමිතව ඇත. ඒ බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ ලේකම් විජේ කේශව් ගෝක්ලේ මහතා සමග පෙරේදා (13) පෙරවරුවේ පැවති සාකච්ඡාවේ දී අනාවරණය විය.
මෙම සාකච්ඡාවේ දී ශ්‍රී ලංකාව තුළ ඉන්දීය ආයෝජන අවස්ථා වැඩි කරලීම සම්බන්ධයෙන් ද අවධානය යොමු වී ඇත.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කෙරෙන තාක්‍ෂණ හා වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් ද දෙපාර්ශවය අදහස් හුවමාරු කරගත් අතර, උතුරේ අවතැන් වූවන් උදෙසා ඉන්දීය සහය ඇතිව ඉදි කෙරෙන නිවාස යෝජනා ක්‍රම පිළිබඳව ද සාකච්ඡා විය.
එමෙන්ම මෙරට උතුරේ මාර්ග පද්ධතිය වැඩි දියුණු කරලීම සඳහා ඉදිරිපත් වීමට ඉන්දියාව කැමැත්තෙන් සිටින බව ද මෙහිදී අනාවරණය විය.
මීට අමතරව අත්අඩංගුවට පත්ව ඇති ඉන්දීය ධීවරයන් නිදහස් කර ගැනීම හා ඉන්දීය ආධාර ඇතිව ක්‍රියාත්මක වන “සුවසැරිය” ගිලන් රථ සේවාව ලබා ඇති ප්‍රගතිය හා ප්‍රසාදය පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.