FAST NEWS

24×7 Around the Globe

කරාපිටිය රෝහලේ AC අක්‍රිය වීමෙන් හෘද සැත්කම් අඩපනයි…

කරාපිටිය ශික්‍ෂණ රෝහලේ හෘද ශල්‍ය දැඩිසත්කාර ඒකකයේ අක්‍රියව ඇති මධ්‍යම වායුසමීකරණ පද්ධතිය මෙතෙක්‌ අලුත්වැඩියා නොකිරීම නිසා හෘද සැත්කම් සිදුකිරීමට නොහැකි තත්ත්වයට පත්ව ඇත.
මේ හේතුවෙන් එම ඒකකයේ ප්‍රධාන හෘද හා උරස්‌කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ මහතා ලබන සඳුදා (16) සිට හෘද සැත්කම්වලින් ඉවත්වීමට තීරණය කර ඇත.
මේ වන විට එම රෝහලේ හෘද සැත්කම් සිදුකර ගැනීම සඳහා 3000 කට ආසන්න රෝගීන් සංඛ්‍යාවක් ලයිස්තුවේ සිටින බවද වාර්තා වේ.
මෙහි ඇති බරපතලම කාරණය වන්නේ හෘද රෝගීන් සැත්කම්වලට ලක්‌ කිරීමෙන් පසු ඇතුළත් කරනු ලබන්නේ හෘද ශල්‍ය දැඩිසත්කාර ඒකකය වන අතර මධ්‍යම වායුසමීකරණ පද්ධතිය අක්‍රිය වීම නිසා එම රෝගීන්ට නිරන්තරයෙන් විෂබීජ ආසාදනය වේ.
මෙහි වායුසමීකරණ පද්ධතිය අලුත්වැඩියා කරදෙන ලෙස අවස්‌ථා ගණනාවකදී සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීම් කළද තවමත් එය ඉටුවී නැත.