FAST NEWS

24×7 Around the Globe

කතරගම එන බැතිමතුන්ට පොලිතින් – ප්ලාස්‌ටික්‌ තහනම් වෙයි..

කතරගම පුද බිමට පැමිණෙන බැතිමතුන්ට පොලිතින් සහ ප්ලාස්‌ටික්‌ අපද්‍රව්‍ය රැගෙන ඇතුළු වීමට අවසර නොදෙන බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චන්ද්‍රරත්න පල්ලේගම මහතා ජනතාවට නිවේදනය කර සිටියි.
ඔහු මේ බව සදහන් කර සිටියේ ඊයේ (10) බත්තරමුල්ල මධ්‍යම පරිසර අධිකාරියේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
පල්ලේගම මහතා මෙහිදී අදහස් දක්වමින් සදහන්කර සිටියේ කතරගම පෙරහැර සමයේ පුද බිමට පැමිණෙන ලක්‍ෂ සංඛ්‍යාත බැතිමතුන් හේතුවෙන් මැණික්‌ ගඟ අවට සහ පූජා භූමිය අවට ප්‍රදේශ දැඩි ලෙස අපවිත්‍රවන බැවින් මෙම තහනම පැනවූ බවයි.
පුදබිමට අවතීර්ණ වන ප්‍රධාන ස්‌ථාන සහ තවත් ස්‌ථාන රැසකදී බැතිමතුන් පරීක්‍ෂා කෙරෙන බවත් අනවශ්‍ය ප්‍රමාදවීම් වළක්‌වා ගැනීමට මෙම ද්‍රව්‍ය රැගෙන නොඑන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.
පරිසරය රැක ගැනීමේ කාර්යය වෙනුවෙන් මෙම පියවර ගන්නා බවත් තම අධිකාරිය ජයිකා ආයතනය, මොනරාගල දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලය, කතරගම ප්‍රාදේශීය සභාව, මොනරාගල දිස්‌ත්‍රික්‌ සෞඛ්‍ය නිලධාරී කාර්යාලය ඇතුළු ස්‌වෙච්ඡා සංවිධාන රැසක සහාය ඇතිව මෙම කටයුතු සංවිධානය කරන බවත් පල්ලේගම මහතා වැඩිදුරටත් පැවැසීය.