FAST NEWS

24×7 Around the Globe

වනජීවී නිළධාරීන්ට තෙවරප්පෙරුමගෙන් චෝදනා…

සේවයේ නියුතු ඇතැම් වනිජීවී නිලධාරීන් තමන් ලබාදෙන උපදෙස් පිළිනොගන්නා බවත්, නිසි පරිදි රාජකාරිය ඉටු නොකරන එම නිලධාරීන් සම්බන්ධව දැඩි තීරණයක් ගැනීමට නොහැකිව ඇත්තේ තමන් නියෝජ්‍ය අමාත්‍යවරයා ‍වීම හේතුවෙන් බවද තිරසර සංවර්ධන, වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම සදහන් කර සිටියි.
කිසියම් ප්‍රදේශයක වනඅලියෙකු සම්බන්ධ සිදුවීමකදී වනජීවී නිලධාරීන් පැමිණෙනතෙක් පැය ගණනක් බලා සිටීමට සිදුවන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේය.
එමෙන්ම වනඅලින් රැක ගැනීමට වනජීවී නිලධාරීන්ගේ උනන්දුව ප්‍රමාණවත් නොමැති බවත්, ගම්මාන අවට සැරිසරන අලියෙකුගේ ශරීර අභ්‍යන්තරය පරීක්ෂා කළහොත් පතොරම් ටොන් එකක් පමණ සොයාගත හැකි බවත් ඔහු ප්‍රකාශ කළේය.
වනඅලින්ගේ වාසභූමිවලට ඇතැම් පුද්ගලයන් ගවයන් මුදාහැරීම හේතුවෙන් වනඅලින් ආහාර සොයා ගම්වලට පැමිණෙන බවත්, ගවයන් වනාන්තරවලට රැගෙන යන පුද්ගලයන් සම්බන්ධව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.