FAST NEWS

24×7 Around the Globe

අලි උවදුර තව වසරකින් 95% ක් අවසන් කරනවා….වනජීවී අමාත්‍ය

දිනෙන් දින ඉහළ යන අලි උවදුර ඉදිරි වසරක කාලයක් ඇතුලත 95% ක ප්‍රමාණයක් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව තිරසාර වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සදහන් කරයි.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (08) නාඋල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති රැස්වීමකට එක්වෙමින්.
මොරගහකන්ද ජලාශ ඉදිකිරීම සඳහා ඉඩම් අත්පත් කරගැනීම සහ කැළෑ හෙළි කිරීමත් සමග එහි සිටි වන අලින් මාතලේ දිස්ත්‍රික්කය පුරා ගම්වැදී සිදුවන ජීවිත හා දේපළ හානි පිළිබඳව සොයාබැලීම සඳහා දින 02 ක කාලයක් අමාත්‍යවරයා මාතලේ දිස්ත්‍රික්කයේ රැඳී සිට ඇත.
පසුගිය වසර තුළ අලින් 280 ක් මිය ගොස් මිනිසුන් 80 ක් මියගොස් තිබෙන බවද අමාත්‍යවරයා අනාවරණය කළ අතර වර්තමානයේ රටේ අලි ගහනය 6000 ඉක්මවා ඇති බව ද ප්‍රකාශ කළේය.
අලි මිනිස් ගැටුමට එකම විසඳුම බවට පත්ව ඇත්තේ ප්‍රමිතියෙන් යුතුව අලිවැට සවි කිරීම බවත් මේ වන විට දිවයින වටා කිලෝමීටර් 4500 ක් විදුලිවැට තිබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
කිලෝමීටර් 2500ක විදුලිවැට අවශ්‍යතාවය ද කිලෝමීටර් 2500 ඉදි කොට ඒවා නඩත්තු කිරීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුවට පිරිස් බලය 5000 ක් බඳවාගැනීමට අනුමැතිය ලැබී ඇතැයි ද සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.